27 C
Colombo
08/06/2026

බැංකු ණය සහන 2021 අප්‍රේල් දක්වා දිගු කරන්නැයි මහබැංකුවෙන් නියෝග

Share with your friends :

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ලබා දී තිබූ ණය සහන කාලය 2021 අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.
නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල හේතුවෙන් උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව එම පියවර ගෙන ඇති අතර මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ බව දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ අත්සනින් යුතුව 2020 නොවැම්බර් 9 දින දාතම යටතේ අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛයට අනුව ණය සහන කාලය සඳහා ඉල්ලුම් කළ යුතු අවසාන දිනය මේ මස 25 වැනිදා වන අතර ලිඛිතව, මුද්‍රණය කර, ඊමේල් හෝ එස්.එම්.එස් පණිවුඩයකින් හෝ ඒ බව අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනය වෙත වෙත දැනුම් දිය හැක. ඒ සඳහා ඉල්ලුම් කරන ආකාරය අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනය සමඟ සාකච්ඡා කළ හැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඊට අදාළ සරල ආකෘති පත්‍රයක් ගනුදෙනුකරුවන්ට ලබාදෙන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් දී ඇත.
මෙම සහන කාලයට අදාළව ගණනය කෙරෙන පොලී මුදලක් ගෙවිය යුතු වන අතර එය ශ්‍රී ලංකා බැංකුව නිකුත් කර තිබෙන 2020 අංක 11 දරන මෙම නව චක්‍රලේඛයට යටත් වේ.
ඒ අනුව අදාළ ගෙවීම් හා අය කිරීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝගවලට යටත්ව ගනුදෙනුකරුගේ සහ බැංකු හෝ අදාළ මූල්‍ය ආයතනයේ එකඟතාව පරිදි ක්‍රියාත්මක කළ යුතු වේ.
ඊට අමතරව මාස 12ක් හෝ මාස 24ක කාලයක් තුළ අදාළ පොලී මුදල ගෙවිය යුතු වන අතර එය ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයේ නියම කර තිබෙන පොලී අනුපාත හා කොන්දේසිවලට යටත් විය යුතු ය.

Share with your friends :