27 C
Colombo
08/06/2026

සොබාදහමේ Reset වීම

Share with your friends :

මානව පරිණාමයේ ඓතිහාසික විකාශනය පිළිබඳ සැලකීමේ දී මිනිස් පැවැත්ම සඳහා ස්වභාවධර්මය අතර පවතින්නේ අනවරත අරගලයකි. ප්‍රාථමික සමාජයේ සිට නූතන ධනේෂ්වර සමාජය දක්වා විතැන් වීමේ දී, ස්වභාවධර්මය හා මිනිසා අතර පවතින මෙම අරගලයේ මූලික ගැටලුව වන්නේ මිනිසා තමා ස්වභාවධර්මයේ සාධකයක් ලෙස නොසිතීමයි. නමුත් එක්තරා තීරණාත්මක අවස්ථාවල දී ස්වභාවධර්මයා එය මිනිසාට ඒත්තු ගන්වයි. එවැනි තීරණාත්මක අවස්ථාවක් ලෙස වර්තමාන ගෝලීය වසංගතයක් ව පවතින නව කොරෝනා (coveid 19) වෛරසය පෙන්වා දිය හැකි ය. දැන් මිනිසා නැවත සොබාදහම පිළිබඳ සිතීමට පටන් ගෙන ඇත. මිනිසා ද ස්වභාවධර්මයේ කොටසක් බව පසක් වී ඇත. ස්වභාවධර්මය නැවත සකස් වෙමින් පවතී. එය ස්වභාවධර්මයේ සමබරතාවයි. එය ද ස්වාභාවික සංකල්පයකි. මිනිසා නිතර ම සිතන්නේ සියලු සංස්කෘතික සාධක මිනිසා විසින් ජය ගෙන මිනිසා විසින් නිර්මිත බවයි. නමුත් සංස්කෘතික සාධක යනු, ස්වභාවධර්මයේ අමුද්‍රව්‍ය සහේතුක ව මිනිසා විසින් ගොඩනගන ලද සියල්ලයි. එබැවින් එය ද සොබාදහමේ ක්‍රියාවලියට, සමබරතාවට යටත් ය. කෙසේ නමුදු අද, මේ මොහොතේ මිලියනයක්ට ආසන්න මානව සංහතියකට මෙම වෛරසය ආසාධනය වී අවසන් ය. දසදහස් ගණනින් මිනිසුන් මියැදෙමින් සිටී. සොබාදහම තවමත් රිසෙට් වෙමින් පවති. ඒ සඳහා තව කොපමණ කාලයක් ගත වෙවි ද යන්න ප්‍රශ්නාර්ථයකි. පසුගිය කාලය පුරාවට ලෝකයේ සිදු වූ ස්වභාවික විපත් යැයි මිනිසා ඉතා සරලව අර්ථ දක්වන විපත් එනම්, දස දිගින් වාර්තා වන ජල ගැලීම්, නාය යාම්, සුළි සුළං, මුහුදු ඛාදනය වීම්, ලැව්ගිනි, නියඟ ආදී විපත් තවදුරටත් ස්වභාවික විපත් ලෙස අර්ථ දැක්විය නොහැකි ය. මන්ද ඒ සියල්ල මිනිසාගේ සෘජු මැදිහත් වීමේ ප්‍රතිඵලයි. විශේෂයෙන්ම නූතන ලිබරල් ධනේෂවර ක්‍රමයේ දී නූතන මිනිසා හා ස්වභාවධර්මය අතර පවතින සහසම්බන්ධයේ ගැටලුව මේ සඳහා මූලික හේතුවයි. නමුදු එකී අදහස සමස්ත මානව සංහතියට එක්තරා අකාරයකට උපහාසාත්මක අදහසකි. එය එසේ වීම ඉතා සාධාරණ කාරණයකි. මන්ද එය මිනිසා තනි තනිව සහ එක්ව සිදුකළ ක්‍රියාකාරකම් ඒ සඳහා සෘජුව බලපාන බව අවබෝධනය නොවීමයි. එනම්, මිනිසා විසින් ගොඩනගාගෙන ඇති පද්ධතියේ, ක්‍රමවේදයේ ගැටලුසහගත බවයි. එය ස්වභාවධර්මයේ නියමයන් සිතාමතාම විනාශ කිරීමයි. නූතන වෙළදපොල ආර්තිකය තුළ මිනිසා දෘශ්ටිවාදීමය ලෙස සැකසි ඇත්තේ ම මමත්වය මූලික විකිණීම, ලාබ ඉපැයීම සංකල්පයන් මුල්කරගෙන ය. අතිවිශාල බහුජාතික සමාගම්, ගෝලීය ව වර්ධනය වී ඇති ගෝලීය සුපිරි සමාජය වැනි ප්‍රපංච මහා පරිමානයෙනුත්, සාමාන්‍ය මිනිසා කුඩා පරිමානයෙනුත් සමස්තයක් ලෙස ගත්විට සමස්ත මානව ප්‍රජාවත් මෙකී ස්වභාවධර්මයේ නියමයන් අධික ලෙස උල්ලංඝණය කර ඇත. තම ලාභය සඳහා අධික පරිභෝජනයත්, විනාශ කිරීමත් සිදුකොට ඇත. නැවත ස්වභාවිකව නිෂ්පාදනයට වඩා ඉහළ වේගයෙන් මිනිසා පරිභෝජනය කර ඇත. එබැවින් එය මිනිසාගේ පවතින පද්ධතියේ හැසිරීමේ ගැටලුවකි.මෙය සෘජුව ම දේශපාලනික දෘශ්ටිවාදයක් ද වේ. නමුත් එය ප්‍රජාවට අවබෝධනය නොවේ. එබැවින් අප මෙම සංවාදය ගම්භිර ව විමර්ශනය කළ යුතු ය. මෙය ඒ සඳහා යෝග්‍යම අවකාශය වේ. මන්ද දැන් මානව සංහතියටම මේ තත්ත්වය එක ලෙස ගෝලීයව බලපා තිබීම ය. ඒ අනුව දේශපාලනික දෘශ්ටිවාදයක් ලෙස අද පවතින නව ලිබරල් ධනේශ්වරයේ පද්ධතිමය ගැටලුසහගත බව ඉතා හොදින් පසක් වේ. කිසිඳු ගෝලීය සුපිරි සමාජයකට කළ හැකි දෙයක් නොමැති බව පසක් වී ඇත. සියලුම පද්ධති ක්‍රියාකාරිත්වයන් අඩාල වී ඇත. ඒ තුළින් ස්වභාවධර්මය සියල්ලටම ඉහළින් ඇති බවත් ස්වභාවධර්මය ප්‍රතිව්‍යුහගත වෙමින් පවතින බවත් මිනිසාට පසක් කොට ඇත.
ඒ ප්‍රතිව්‍යුහගත වීම දී ධනේෂ්වරයේ යාන්ත්‍රනයේ ප්‍රධාන ම සාධකයක් වන මිත්‍යාව, ආගමික සංකල්ප (දාර්ශනික අර්ථයන් නොවේ.) මේ සියල්ල සුණුවිසුනු කොට ඇත. මිනිසාට මිනිසා ගැනම සිතීමට ස්වභාවධර්මය මිනිසා නිවාස තුළට ගාල් කර ඇත.
මිනිසා වායුගෝලයට මුදා හළ කාබන්ඩයොක්සයොඩ් ප්‍රමාණය ඉතාමත් ඉහළය. එය ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට ප්‍රධානම සාධකය විය. පූර්ව කාර්මික යුගයේ ද මිනිසා වායුගෝලයට මුදා හළ කාබන් ප්‍රතිශතය ඉතා ම කුඩා ප්‍රමාණයකි. වර්තමානය වන විට පූර්ව කාර්මික යුගයට සාපේක්ෂ ව සෙන්ටිග්‍රේඩ් අංශකයකින් ගෝලීය කාබන් ප්‍රතිශතය ඉහළ ගොස් ඇති අතර ග්ලැසියර් දිය වී යෑම හේතුවෙන් මුහුදු මට්ටම සෙන්ටිමීටර 20ක් පමණ ඉහළ ගොස් ඇත. වායුගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 2කින් ඉහළ ගියහොත් මේ තත්ත්වය ඉතා භයානක වනු ඇත. මිහිමත ජීවීන්ගේ පැවැත්ම තවදුරටත් තහවුරු කිරිමට නම් 2030 වන ගෝලීය උණුසුම ඉහළ යාම සෙන්ටිග්‍රේඩ් අංශක 1.5කින් වත් නතර කර ගත යුතු බව පැරිස් දේශගුණ සමුළුවේ දී විද්‍යාඥයින් විසින් පෙන්වා දෙන ලදී . එහෙත් මෙම තත්ත්වය තහවුරු කිරීමට මිනිසාට තවමත් හැකි වී නොමැත. මුලින් මා සඳහන් කළ පවතින සමාජ ක්‍රමය හා ස්වභාවධර්මය අතර පවතින සහසම්බන්ධය ඒ සඳහා සෘජුවම බලපාන බව මින් පසක් කරනු ඇත. කෙසේ නමුදු පෘතුවිය ප්‍රතිව්‍යුහගත වෙමින් පවතී. ඒ සඳහා කොවෙඩ් 19 වෛරසය මිනිසා නිවාස අඩස්සියට දමා ඇත. මේ වන විට නිව්යෝක් නගරයේ ගමනාගමනය නතර වීම හේතුවෙන් පසුගිය වසරේ මේ කාලයට සාපේක්ෂ ව වායුගෝලයට මුදා හැරෙන කාබන් ප්‍රතිශතය 50%කින් අඩු වී ඇත. චීනයේ මේ වසර අරම්භයේ දී පැවති තත්ත්වයට වඩා 25%කින් කාබන් විමෝචනය අඩු වී ඇත.
මිහිමත ජෛව විවිධත්වය පවත්වා ගෙන යාම පසුගිය දශක කිහිපයක සිට විශාල වශයෙන් තර්ජනයට ලක් විය. මහා පරිමාණයෙන් ලෝකයේ පරිසර පද්ධතීන් විනාශ වීම එයට හේතුව යි. ඒ සඳහා සෘජුව ම මිනිස් ක්‍රියාකාරකම් එනම්, පවතින සමාජ ක්‍රමය බලපාන ලදි. මේ දිනවල මහා මාර්ගවල වාහන ගමනාගමනය නතර වීම, ගුවන් තොටුපොළ වසා දැමීම, සංචාරක ස්ථාන ජාතික, උද්‍යාන මහජනතාවට වසා දැමීම, කර්මාන්තශාලා වසා දැමීම වැනි ක්‍රියා මඟින් පරිසරයට ලැබුණු නිදහස, ජල මූලාශ පිරිසිදු වීම ආදී කරුණු හේතුවෙන් ලෝකයේ විවිධ ප්‍රදේශයන්හි වන සතුන් ඉතාමත් නිදහසින් ජීවත් වන බව මිනිසාට දක්නට ලැබී ඇත. නාවික ගමනාගමනය ද අඩපණ වී ඇති බැවින් සාගර කලාපවල සිදු වන දූෂණය ද බොහෝ දුරට සීමා වී ඇත. ඇළ මාර්ග, ගංගා ආදී ජල මූලාශ්‍රවල සිදු වන දූෂණය අවම වී ඇත. ගංගා, ඇළදොළ මෙන් ම සාගර ආශ්‍රිත ව ජීවත් වන ජීවී විශේෂයන්ගේ වර්ධනයක් ද සිදු වෙමින් පවතී. පසුගිය දා ඉතාලි වෙරළට ඩොල්ෆින් මත්ස්‍යයින් පැමිණි බවට වාර්තා වූ අතර හංසයින් ඉතාලි ඇළ මාර්ග දිගේ විශාල වශයෙන් දැක ගන්නට ලැබී ඇත.
වෙනදාට වඩා පක්ෂි ගහනයේ වැඩි වීමක් ද දක්නට ලැබේ. ඊශ්‍රායලය, ඊජිප්තුව වැනි රටවල තත්ත්වය ද, ශ්‍රී ලංකාවේ තත්ත්වය ද එයයි. එබැවින් මිනිසාට මේ නිරෝධායන සමය තුළ පවතින පද්ධතිය තුළ මිනිසාගේ හැසිරීම ස්වභාවධර්මයා විසින් රිජෙක්ට් කොට ඇති බව අවබෝධනය විය යුතු අතර සියල්ල ස්වභාවධර්මයේ නියමයන්ට අනුව සිදුවේ යන්න පසක් විය යුතු ය.
-ෆ්‍රෑන්ක් ප්‍රවීන් සීල්මන්

Share with your friends :