27 C
Colombo
08/06/2026

වොලිබෝල් සම්මේලනයේ මුල් පුටුවට සිවුකොන් සටනක්-කාංචන ජයරත්න පෙරමුණේ

Share with your friends :

අප්‍රේල් මස 04 වැනි දින පැවැත්වෙන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණය දේශපාලන පොරපිටියක් බවට පත්ව තිබේ.
මෙහිදී ඇමතිවරුන්ද පරාජය කරමින් මේ වන විට එහි ඉදිරියෙන්ම සිටින්නේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සැමියා මෙන්ම සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති වන කාංචන ජයරත්නය.
මෙවර වොලිබෝල් නිලවරණයේදී සභාපතිධූරයට තමන් නාමයෝජනා බාරදෙන බවත්, එහි වත්මන් උපසභාපතිවරයා ද වන තමන් බොලිබෝල් සම්මේලයේ සභාපතිධූරයට තරග වැදීමට මීට පෙර අවස්ථා කිහිපයක දී උත්සාහ දැරුවත් එය විවිධ හේතුන් මත ඇත්හැර දැමීමට සිදු වූ බවත් කංචන ජයරත්න අප වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
“මම වොලිබෝල් ක්‍රීඩාව සඳහා විශාල සේවාවක් කර තිබෙනවා , ඒ නිසා සභාපති තනතුරට සුදුසුම පුද්ගලයා මා කියලා මා විශ්වාස කරනවා , ඒ වගේම ඒ සදහා සුදුසුම වෙලාව මෙය කියලා මම හිතනවා , එම නිසා මම වොලිබෝල් සම්මේලනයේ සභාපතිධූරයට නාමයෝජනා බාර දෙන්න සුදානමින් සිටිනවා” යනුවෙන් කාංචන ජයරත්න සඳහන් කළේය.
රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සම්මේලනයේ සභාපතිධූරය ද මේ වන විට හොබවන කංචන ජයරත්න ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ වත්මන් සභාපතිවරයා ද වේ. ඔහු වෙන්නප්පුව ඡෝශප් වාස් විදුහලේ වර්ණලාභී හිටපු වොලිබෝල් ක්‍රීඩකයෙකි.
මේ අතර මෙවර වොලිබෝල් නිලවරණය සදහා තර වදින්නට යෝජිත දේශපාලනඥයින් අතර රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සහ වොලිබොල් සම්මේලනයේ වත්මන් සභාපතිධූරය හොබවන නියෝජ්‍ය කථානයක රංජිත් සියඹලාපිටිය මහතා ද රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ද වේ.
වොලිබෝල් සම්මේලනයේ මෑත ඉතිහාසය පුරා එහි මුල් පුටුව හොඹවා ඇත්තේ බහුතරයක් දේශපාලනඥයින් වීම කැපී පෙනේ. සියඹලාපිටිය මහතාට පෙර එහි සභාපතිධූරය හෙබවූයේ එවකට රාජ්‍ය ඇමැති ධූරයක් දැරූ ඩිලාන් පෙරේරා මහතාය. වොලිබෝල් සම්මේලනයේ විධායක සභාවේ අසුන් ගැනීමේ අවම සුදුසුකම වන්නේ පිළිගත් වොලිබෝල් තරඟාවලි දෙකක නියෝජනය ලැබූ බවට සහතිකයි. එය භාණ්ඩාගාරික හා සහකාර භාණ්ඩාගාරික යන ධූර සදහා අදාල නොවේ.
ජාතික ක්‍රීඩා සංගම් තනතුරු සදහා තරඟ වැදීමේ දී ක්‍රීඩා ඇමැතිවරයාගේ අභිමතය පරිදි
(සුදුසුකම් නොමැති) නාමයෝජනා පිළිගැනීම සදහා ලබා දී තිබූ අවසරය මේ වනවිට ක්‍රීඩා පනතෙන් ඉවත් කර තිබේ.
වොලිබෝල් සම්මේලනයේ නිලවරණය සුදුසුකම් තීරණය කිරීමේ නිලවරණ කමිටුව මේ වනවිට පත් කර තිබේ. ඒ පසුගියදා පැවැති සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීමේ දීය. එහි ප්‍රධානියා ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විණිසුරු කුමාර ඒ්කරත්න මහතා කටයුතු කරන අතර, එහි සෙසු සාමාජිකයින් වන්නේ විශ්‍රාමලත් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන සුරංජිත් කුමාරපේලි හා එන්.ඒ.ටී ජයසිංහ යන මහත්වරුය.
නාම යෝජනා කැදවීම ලබන පෙබරවාරි මුල් භාගයේ දී ආරම්භ කෙරේ. මෙවර නිලවරණයේ දී ඡන්ද බලය හිමි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංගම්, ව්‍යවස්ථාපිත සංගම් හා විශේෂි සංගම් මුළු එකතුව 99 කි. දැනට දිවයින පුරා දිස්ත්‍රික් වොලිබෝල් සංගම් 10 කට ආසන්න ගණනක් ක්‍රියාත්මක වුවත්, සම්මේලන නිලවරණයේ දී දිස්ත්‍රික් සංගම් සදහා ඡන්දය හිමි නොවේ. අප්‍රේල් මස 04 වනිදා පෙරවරු 9.00 සම්මේලනයේ මහ සභාව පැවැත්වීමෙන් අනතුරුව නිලවරණයේ ඡන්ද විමසුම එදින පෙරවරු 10.00 ආරම්භ වීමට නියමිතය

Share with your friends :