27 C
Colombo
19/05/2024

කොරෝනා මෘතදේහ භූමිදානයට ඉරණතිව් දුපත තෝරා ගැනීමෙන් ප්‍රශ්නය තවත් උග්‍රවන ලකුණු

Share with your friends :

ශ්‍රී ලංකාවට වයඹ දෙසින් මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ පිහිටා ඇති ඉරණතිව් දූපතේ ස්ථානයක් කොවිඩ් මෘතදේහ භූමදානය සඳහා රජය විසින් තෝරා ගෙන තිබේ.
මේ අතර කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සඳහා රජයේ පුර්ණ වියදමින් මෘත දේහ එම දූපත වෙත ගෙනයාමටද රජය තීරණය කර තිබේ.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරන්චි හි සිට කිලෝමීටර 9.5 ක පමණ දුරින් පිහිටා ඇති ඉරණතිව් දූපත වර්ග කිලෝමීටර 6ක පමණ භූමි ප්‍රදේශයකට හිමිකම් කියන අතර ධීවර ප්‍රජාව වාසය කරන ඉතා කුඩා ජනගහණයක් සහිත ප්‍රදේශයකි.
මේ අතර කොරෝනා ආසාදිත මළ සිරුරු ඉරණතිව් දූපතේ වළ දැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව ඉරණතිව් වැසියන් විරෝධය දක්වා තිබේ.
යුද්දෙන් පසුව 2017 වසරේ දී දුෂ්කරතා රැසක් හමුවේ ඉරණතිව් දූපතේ තමන් පදිංචියට ගොස් මේ වන විට ජීවිකාව රැගෙන යන අවස්ථාවේ දී තමන් ජීවත් වන දූපතේ කිසිවෙකුටත් කොරෝනා අවදානමක් නොමැති අතර මෙලෙස රජය විසින් ඉරණතිව් දුපතේ කොරෝනා ආසාදිත සිරුරු භූමදානයට ගත් තීරණයට දැඩි ලෙස තමන් විරෝධය පළ කරන බවයි.
මේ වන විට ඉරණතිව් දූපතේ පවුල් 165 ක් පමණ නැවත පදිංචිව සිටින හෙයින් ඉරණතිව් දූපතේ කොරෝනා සිරුරු භූමදානය කිරීම මගින් දූපතේ ජලය අඩුවැඩි වීම මගින් ජනතාවට වයිරසය ජලයට මුසු වී වැළඳීමේ අවදානමක් පවතින බව එම වැසියන් කියා සිටිති.

මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශයන් රටේ බොහෝ තිබියදී ඉරණතිව් දූපතේ සිරුරු වළ දැමීමට සියලු දූපත්වාසීන් විරෝධය පල කරන අතරම හෙට දිනයේදී විරෝධතාවක් සංවිධානය කර ශ්‍රීලංකා මානව හිමිකම් කාර්යාලයටද පැමිණිළි කිරීමට තමන් බලාපොරොත්තු වන බවට ඉරණතිව් වැසියෝ පවසති.

මේ අතර කොරෝනා වයිරසය ආසාදනය වී මිය යන මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ භුමිදානය සඳහා කිළිනොච්චිය ඉරණතිවු දුපත තෝරා ගැනීමේ තිරණය මගින් ජාතිවාදයක් ඇතිවිය හැකි යැයි ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.
රවුෆ් හකිම් මහතා පෙන්වා දෙන්නේ මෙම තීරණය මගින් කොරෝනා මරණ භූමදානය සම්බන්ධයෙන් රජය මීට පෙර ගෙන තිබු ස්ථාවරය නිවැරදි යැයි පෙන්වීමට උත්සහා ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කර ඇත්තේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ අරමුණින් ආණ්ඩුව ඉරණතිව් දුපත හදුන්වා දී ඇති බවත් දෙමළ ජනතාව මේ සම්බන්ධයෙන් ඉතා අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇති බවත්ය.

Share with your friends :