27 C
Colombo
19/05/2024

පස්සර අනතුර සිදුවූ ස්ථානයට වැටක්-රියදුරන් රිමාන්ඩ්-මගී බස්රථ ධාවනයට නව බලපත්‍ර ක්‍රමයක්

Share with your friends :

පුද්ගලයන් දාහතර දෙනකුට මරු කැඳවමින් 35 දෙනෙකුට තුවාල සිදු කරමින් ලුණුගල – පස්සර මාර්ගයේ 13 කණූව ප්‍රදේශයේදී මාරක බස් අනතුර සිදුවූ ස්ථානය යකඩ බට යොදා ගනිමින් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට පියවර ගෙන ඇත.
මීට අමතරව මාර්ග අනතුරු දායක බව දැක්වෙන මාර්ග පුවරුද සවි කිරීමට සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
මීට අමතරව මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවල වේගය පාලනය කිරීම සදහා මාර්ගය හරහා බම්පර් මාර්ග බාධක යෙදීමේ කටයුතුද ආරම්භ කර ඇත.
කෙසේ වෙතතත් අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගය අවහිර වන ලෙස මාර්ගය වැටී තිබූ දැවැන්ත ගල් පර්වතය තවමත් ඉවත්කර නැත.ප්‍රදේශවාසීන් පවසන්නේ අනතුරට අදාළ පර්වතය නිසි අවස්ථාවේ ඉවත් නොකළ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ද වගකිව යුතු බවයි.
මෙම අනතුර සිදුවූ ලුණුගල පස්සර මාර්ගයේ තවත් මෙවැනි අනතුරු දායක ස්ථාන රැසක් ඇති බවද රියැදුරෝ පවසති.
පස්සර දී පෞද්ගලික බස් රථ අනතුර දැක දැකත් පළාගොස් සැගව සිටි බව කියන ට්‍රිපර් රථ රියදුරා සහ අනතුරට ලක්වු බසය පැදවු රියදුරා ලබන 25 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුජීවන සිල්වා මහතා නියෝග කළේය.
මේ අතර අනතුරට ලක්වු බස් රථයේ රියැදුරා වන කේ.ආර් නිහාල් චන්ද්‍රකාන්තන් හා ලොරි රථය රියැදුරා වූ බදුල්ල හිදගොඩ පදිංචි දිසානායකලාගේ චන්ද්‍රකුමාර් යන දෙදෙනා රක්ෂිත බණ්ධනාගාර ගත කර තිබේ.
අනතුරින් තුවාල ලැබූ බස් රථ රියැදුරා දැනට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් තුවාල ලබා සිටින බස් රියැදුරා නිරීක්ෂණය කිරීමෙන් අනතුරව එම නියෝග කළේය.
මේ අතර දිගින් දිගටම සිදුවන බස් රථ අනතුරු සැලකිල්ලට ගනිමින් මගී ප්‍රවාහන බස් රථ සඳහා නව රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඒ අනුව බර වාහන රියදුරු බලපත්‍රය ලබාගැනීමෙන් පමණක් මින් ඉදිරියට මගී ප්‍රවාහන බස් රථ ධාවනය කළ නොහැකි බවත් ඒ වෙනුවට මගී ප්‍රවාහන රියදුරු බලපත්‍රයක් අලූතින් හදුන්වාදීමට නියමිතය.
සියලුම මගී ප්‍රවාහන බස් රථ රියදුරන්ට සති දෙකක පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව මෙම නව රියදුරු බලපත්‍රය ලබා දෙන අතර ලංකා ගමනාගමන මණ්ඩලය, ආරක්ෂක අංශ එක්ව මෙම වැඩපිළිවෙළ සකස් කෙරේ.
පස්සර ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට මාර්ග සංවර්ධන අධිකාරියේ වරදක් හේතුවී ඇත්දැයි සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් ප්‍රේමසිරි මහතා විසින් පත් කර තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙක් ද ඇතුළත්ය.
මාර්ගයේ අනතුර සිදුවූ ස්ථානයට ඉකුත් වසරේ නොවැම්බර් 22 වැනිදා පෙරලී ඇති ගල් පර්වතය මෙතෙක් කල් ඉවත් නොකිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද මෙහි දී සොයා බැලීමට නියමිතය.

Share with your friends :