මෙම වසර අවසන්වීමට ප්රථම මෙරට ජනගහනයෙන් සියයට 63 කට වැඩි පිරිසකට පූර්ණ එන්නත්කරණ කටයුතු සිදු කිරීමට හැකියාව පවතින බව සෞඛ්ය අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
කොවිඩ් -19 වෛරස ව්යාප්තිය පිළිබඳ විශේෂ කල්තැබීමේ විවාදයක් පාර්ලිමේන්තුවේ දී පැවති අතර ඊට එක්වෙමින් සෞඛ්ය අමාත්යවරිය මේ බව සඳහන් කළාය.
“අද දිනයේ සිට අපි පටන් ගන්නා ස්පුට්නික් එන්නත මගින්, මෙම සතිය තුළ ආරම්භ කරන එන්නත් ක්රියාවලිය බාධාවකින් තොරව සිදුකරගෙන යෑමට අපට හැකියාව ලැබෙනවා. දැනට කොවිඩ් රෝගීන් සඳහා දල වශයෙන් ඇඳන් 13,800ක් රෝහල් තුළ අපි වෙන්කර තිබෙනවා. ඉදිරි සති 2 තුළ තවත් ඇඳන් 10,000ක් අපි වෙන් කරනවා. දැනට අපේ රටේ රෝහල්වලට අවශ්ය ඔක්සිජන් ධාරිතාව ටොන් 25යි. එහෙත් ඔක්සිජන් ටොන් 80කට ධාරිතාව වැඩි කිරීමේ හැකියාව අප සතුයි.”
විවාදයට එක් වූ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මහතා සඳහන් කළේ, “ලෝකයේ රටවල් පුළුවන් තරම් එන්නත් ලබා ගත්තා. අපේ රටේ මුට්ටි සෙල්ලමයි. පැණි සෙල්ලමයි.” යනුවෙනි.
රාජ්ය අමාත්ය වෛද්ය සුදර්ශණී ප්රනාන්දුපුල්ලේ මහත්මිය,”ඉන්දියාවේ වසංගතයත් සමග අවශ්ය එන්නත් ටික දෙන්න බැරි වෙනවා. ඒ නිසා අපිට ලක්ෂ 6ක එන්නත්වල ගැටලුවක් තියෙනවා. අපි ඒක හංගන්න දෙයක් නෑ. ඒක රජයේ වරදක් නෙමෙයි.” යනුවෙන් සඳහන් කළාය.
එය අප රටට කිව යුතු යැයි ද ඇය කීවාය.
එවැන්නක් ඇතිවුණේ රජයේ වරදකින් නොවේ යැයි කී රාජ්ය ඇමතිවරිය නිෂ්පාදකයන්ට අවශ්ය තරම් සැපයුම් දීගැනීමට නොහැකි වීම නිසා මේ තත්වය ඇති වී තිබෙන බවද ප්රකාශ කළාය.
ස්පුට්නික් හා ෆයිසර් එන්නත් ගෙන්වීමට රජය කටයුතු කරගෙන යන බවද ඇය පැවසුවාය .
පළමු මාත්රාව එක් එන්නතකින් ලබාදී දෙවෙනි මාත්රාව වෙනත් එන්නතකින් දීමට හැකියාව ඇත්දැයි පරීක්ෂණ පවත්වාගෙන යන බවත් එම පරීක්ෂණ වාර්තාවල ප්රගතිය අනුව එන්නත් “කොක්ටේල් ” එකක් දීමට ඉදිරියේදී හැකිවනු ඇති බවත් ප්රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.
