රටේ ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුන් වෙත ප්‍රමුඛත්වයක් ලබා දීම ආණ්ඩුව තුල සිටින සෙසු පාසල් වල ආදී සිසුන්ගේ දැඩි කළකිරීමට හේතුවී තිබේ. පසුගිය දින වල ප්‍රධාන පෙලේ තනතුරු කීපයක් සඳහාම පුද්ගලයන් පත් කිරීමේදී පදනම කර ගෙන තිබුනේ ඔවුන් ආනන්දයේ ආදී සිසුන් වීමය.
මෙය මෙතෙක් කිසිදු රජයක පැවති ක්‍රමවේදයක් නොවීය. ආදී සිසුන් ලෙස යම් යම් විශේෂ අවස්ථාවල ඒකරාශීවීම් සිදුකලද මෙවැනි විශේෂත්වයන් නොදක්වන්නට පාලකයින් ප්‍රවේශම් වුයේ ඒ හරහා ගම්බද පාසල් වලින් පැමිණි දක්ෂයන්ට සිදුවන අසාධාරණය නිසාය.
මේ වනවිට රටේ ප්‍රධාන රජයේ නිලධාරීන් පවා ආනන්දයේ ආදී සිසුන් යම් යම් තනතුරු සඳහා නිල වශයෙන්ම නිර්දේශ කරමින් ලිපි ලබා දීම පවා සිදු කර ඇති බව සඳහන්ය.
කෙසේ වෙතත් උගත් පාසැල සොයමින් විශේෂත්වය දැක්වීම් සිදු කිරීම් කීප දෙනෙකුගේ මෙම ක්‍රියාකලාපය මෙරට කීර්තිමත් පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයට පවා අපකීර්තියක් ගෙන දෙන්නක් බව ආණ්ඩුව තුලම මේ වන විට කතා බහට ලක්ව තිබේ.
