27 C
Colombo
09/05/2026

හැරී-මේගන් යුවළගේ දියණිය ලිල්බට් ඩයනා උපත ලබයි

Share with your friends :

රජ පවුලෙන් වෙන්වී, ඇමෙරිකාවේ ජීවත් වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ බිරිඳ මේගන් මාකෙල්ට දෙවැනි වරටත් මවු පදවිය උරුම වී ඇත.

හැරී මෙගාන් යුවළ, අලුත උපන් දියණිය ලිල්බට්’ලිලී’ ඩයනා මවුන්ට්බැටන් වින්ඩ්සර් යනුවෙන් නම් කර තිබේ.

සසෙක්ස් ආර්යාව යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන මෙගාන් දියණිය ප්‍රසූත කර ඇත්තේ පසුගිය 4 වැනිදා ඇමෙරිකාවේ වේලාවෙන් උදේ 11.40 ට යැයි සී.එන්.එන්. පුවත් සේවය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ සැන්ටා බාබරා රෝහලේදීය. රෝහල් ආරංචි මාර්ග අනුව බිලිඳියගේ උපන් බර රාත්තල් 7 කි.

මව මෙගාන් සහ අලුත උපන් දියණිය ලිලී යහතින් පසුවන බවත්, ඔවුන් මේ වනවිට ඔවුන්ගේ නිවසේ සිටින බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

දියණිය ලිලී යනුවෙන් නම් කිරීමට හේතුව දෙවැනි එලිසබත් මහ රැජිනට ගරු කිරීමක් ලෙස බවත්, ඩයනා නම යෙදීමට හේතුව තම මව ඩයනා සිහි කිරීමක් ලෙස බවත් හැරී කුමරු පවසා තිබේ. ඒ, විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිණි.

පුංචි ලිලී ට වැඩිමල් සොහොයුරෙක් සිටී. ආර්චි හැරිසන් නමැති ඔහු ඇයට වඩා වසර දෙකකින් වැඩිමල්ය.

අලුත උපන් ලිල්බට් ‘ලිලී’ ඩයනා මවුන්ට්බැටන් වින්ඩ්සර්, දෙවැනි එලිසබත් මහ රැජිනගේ 11 වැනි මී මිණිබිරියයි. ඇය බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන අට වැනියා ද වනු ඇත.

හැරී කුමරුන්ගේ සොහොයුරා විලියම් කුමරුන් සහ ඔහුගේ බිරිඳ කේට් ම්ඩ්ල්ටන්ගේ දියණියගේ නමට ද ‘ඩයනා’ නම ඇතුළත් වෙයි. විලයම් කුමරු සහ සහ කේට් මිඩ්ල්ටන්ගේ දියණිය චාලට් එලිසබත් ඩයනා ය.

Share with your friends :