27 C
Colombo
11/03/2026

අරගලකරුවන්ට පහරදීම ව්‍යවස්ථා විරෝධියි

Share with your friends :

ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට යැයි පවසමින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්ව පැය 24ක් යන්නටත් මත්තෙන් ජනතාවගේ ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් කඩකර ඇති ඇති බවත්, අරගලකරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

ජනාධිපති කාර්යාලය අසලින් අද (22) ඉවත්වන බවට අරගලකරුවන් ප්‍රකාශ කර තිබියදීත් එල්ල කරන ලද මෙම ප්‍රහාරය හේතුවෙන් අනාගතයේදී කිසියම් අනර්ථකාරී ක්‍රියාවක් සිදුවුවහොත් ජනාධිපතිවරයා ඒ සියල්ලට වගකිව යුතු බව ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.

මෙම අවස්ථාවේ අපමණ දුක් පීඩාවන්ට ලක්ව සිටින අහිංසක ජනතාව හා සාමකාමී විරෝධතා පොලිස් හා හමුදා බලය යොදා මර්දනය කිරීම වහා නවතා දමන්නැටි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ කීහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි අගරදගුරු මැදුරේදී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ගාලුමුවදොර පිටියේ හා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රදේශයේ නිරායුධ, කිසිඳු ප්‍රචණ්ඩත්වයකින් තොරව හා ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධතාවයේ යෙදී සිටි අරගලකරුවන් වෙත රාත්‍රී නින්දේ සිටි අවස්ථාවේ දී එල්ල කළ ව්‍යවස්ථා විරෝධී මිලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ස්වාධීන හා විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදුකර එයට පණදුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලකරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරන බව ද කාදිනල්තුමෝ පැවසූහ.

Share with your friends :