27 C
Colombo
16/05/2024

ජීවිතය සුරපුරක් කරන ඔබේ කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණය

Share with your friends :

මනුෂ්‍ය ජීවිතය විනිවිද දැකිය හැකි ඉතා ම ගැඹුරු ශාස්ත්‍රයක් වූ එමෙන් ම පැරණි ශාස්ත්‍රයක් වූ ජ්‍යෝතිෂ විද්‍යාව තුළින් මිනිසාගේ දෛවය / වාසනාව ඉතා පැහැදිලිව පෙන්වා දෙයි. දෛවය වෙනස් කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. පුද්ගලයා පෙර කරන ලද කුසලාකුසල කර්ම අනුව ඒ ඒ පුද්ගලයාට මෙලොව දී සැප හෝ දුක් හිමි වීම සාමාන්‍යය දෙයකි. එසේ කරන ලද කුසල කර්මයක විපාක හෝ අකුසල කර්මයක විපාක විඳින්නට සිදු වන කාලය නිශ්චිත ව දැනගත හැකි නම් ඕනෑම අයෙකුට තමන්ගේ ජීවිතයේ උසස් බලාපොරොත්තු ඉටු කර ගැනීමට සුදුසු කාලය හෝ සුබ කටයුතු ආරම්භ නොකළ යුතු කාලය වෙන වෙන ම අවබෝධ කරගෙන තැනට සුදුසු නුවණ අනුව ක්‍රියා කළ හැකිවේ. එම දැනුම සාමාන්‍ය අයෙකුට ඇති වන්නක් නොවේ. එම දැනුම ඇත්තේ පරිණත ජ්‍යොතිෂ විද්‍යාඥයාට පමණි.

කේන්ද්‍රයක 02 – 06 – 10 යන රාශීන් මුල් කරගෙන අර්ථ ත්‍රිකෝණය නිර්මාණය වෙයි. වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම් ධනස්ථානය – ශතෘ ස්ථානය හා කර්ම ස්ථානය එක් වීමකි. බ්‍රාහ්මණ යුගයේ දී මිනිසාගේ ප්‍රධාන අපේක්ෂාවන් ලෙස වේද ග්‍රන්ථවල සඳහන් වූයේ ධර්ම – අර්ථ – කාම – මෝක්ෂ යනාදිය යි. මෙහි අර්ථ යනුවෙන් සඳහන් වන්නේ ආර්ථිකය යන්නයි. ආර්ථික ශක්තිය ඇති ප්‍රඥාසම්පන්න බුද්ධිමත් පුද්ගලයාට මිහිපිට ඇති සුරපුරයක දිවි ගෙවන අයුරින් සැප සහසුකම් ඇතිව වාසය කළ හැකිය. බුද්ධිමත් යන්න සඳහන් කළේ ආර්ථික ශක්තිය ඇති ප්‍රඥාවෙන් හීන මිනිසුන් තම ධනවත්භාවය වැරදි වැඩ සඳහා යොදා ගන්නා අවස්ථාවන් අනන්තවත් දැක ඇති නිසාවෙනි.

අර්ථ යනුවෙන් අදහස් කර ඇත්තේ විවාහ ජීවිතයට පත් වූ පසු අඹු දරුවන් පෝෂණය කිරීම සඳහා අවශ්‍ය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමයි. මෙහිදී අපගේ සාකච්ඡාවට බඳුන් වන මාතෘකාව වන අර්ථ ත්‍රිකෝණය ද ඉහත අදහස සමග සම්බන්ධතාවයක් ඇතැයි කිය හැකිය. එසේ වන්නේ දෙවැන්න ධනස්ථානයයි. හය වැන්න ශතෘ ස්ථානයයි. විශ්ව කේන්ද්‍රෙය් දී නම් රෝහල නියෝජනය කරන ස්ථානයයි. දහ වැන්න කර්මස්ථානය හෙවත් රැකියා බලය රැඳි ස්ථානයයි. මෙයට අමතරව 10 වැන්න පීතෘ භාවය නිසා ආත්මාභිමානය, පෞරුෂත්වය පිළිබඳව ඉඟියක් ලබා දෙන ස්ථායක් ද වන්නේය.

සෑම පුද්ගලයෙකුගේ ම ප්‍රධාන අභිලාසය වන්නේ තමා ඉතා හොඳ රැකියාවක් කරමින් මහන්සියෙන් උපයන ධනය සතුරු කරදරවලින් තොරව ආරක්ෂා කර ගැනීමයි. අර්ථ ත්‍රිකෝණයේ පෙලගැස්ම 10 වැන්න කේන්ද්‍රගත ව සකස් වීමේ යථාර්ථය ද එයම වේ. ඕනෑම පුද්ගලයෙකුගේ රැකියාව හොඳ නම්, ජීවන වියදමට සරිලන වැටුපක් ලැබෙන්නේ නම් ධන ධාන්‍යාදී සම්පත්වලින් අඩුපාවක් නොමැති නම් ඔහුට අඹු දරුවන්, ඉඩකඩම්, ගෙවල් දොරවල්, යාන වාහන යනාදී සම්පත් අපහසුවකින් තොරව සපයා ගත හැකිය. රැකියා බලය අහිමි නම් ඉහත කී කිසිවක් සපයා ගත නොහැකි වනු ඇත. මේ නිසා පුද්ගලයෙකුගේ ජන්ම කේන්ද්‍රයේ 10 වැන්න දුර්වල නම් විවාහ ජීවිතයේ ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවන බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මේ නිසා ඕනෑම පුද්ගලයෙකුගේ ජන්ම කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණය ශක්තිමත් ව පිහිටා තිබීම ඉතාම වැදගත් වේ.

මේ ලග්න හිමියෙකුගේ ජන්ම කේන්ද්‍ර සටහනේ නිර්මාණය වන්නේ වෘෂභ – කන්‍යා සහ මකර යන රාශීන්ගේ එකතුවෙනි. මෙම රාශින් හි අධිපති ග්‍රහයන් ලෙස සිකුර බුධ හා සෙනසුරු හඳුන්වා දිය හැකිය. මෙම ග්‍රහයන් තිදෙනා දෙක හය දහය යන තම රාශීන් හි ස්වක්ෂේත්‍ර ව සිටී නම්, දෙවැන්නේ සිටින සිකුරුට හය වැන්නේ හා දස වැන්නේ තැම්පත් ව සිටින බුධ හා ශනි දෘෂ්ටියට හසුවන්නේය. ඒ සිකුරුට තමා තැම්පත් රාශියේ සිට පස්වැන්න හා නවවැන්න දෘෂ්ටියට හසුවන බැවිනි. එහෙත් බුධගේ හෝ සෙනසුරුගේ දෘෂ්ටියට ඉහත අනෙක් රාශි දෙකම හසුවන්නේ නැත. මෙම භාවාධිපතීන් තිදෙනා ස්වක්ෂේත්‍රව නොසිටියේ නම් සුබ ග්‍රහයන්ගේ සුබ දෘෂ්ටි සහිතව කේන්ද්‍රස්ථානය හෝ 05 – 09 වැනි ස්ථානයක තැම්පත්ව සිටියේ නම් අදාල ජන්මියා බලවතෙකු වේ. මෙම භාවාධිපතීන් සමග යෝගකාරක ගුරුගේ ද සම්බන්ධයක් වෙතොත් මෙම අර්ථ ත්‍රිකෝණයේ ග්‍රහ පිහිටීම් තවත් බලවත් වේ.

වෘෂභ ලග්න හිමියෙකුගේ ජන්ම පත්‍රයේ දෙක හය දහය අධිපතීන් වන්නේ ද බුධ – සිකුරු හා ශනි යන ග්‍රහයන් තිදෙනාම ය. මෙහි දී සිකුරුට 10 වැන්නේ හා දෙවැන්නේ තැම්පත් ග්‍රහයින් දෘෂ්ටියට හසුවේ. ඒ එම ග්‍රහයන් තිදෙනා ස්වක්ෂේත්‍රව තැම්පත්ව සිටියොත් පමණි. වෙනත් සුබ රාශියක සුබ දෘෂ්ටි හෝ සංයෝග සහිතව සිටිය ද ජන්මියාට බලවත්කම හා ශක්තිය ලබා දේ. වෘෂභ ලග්නයට යෝග කාරක ග්‍රහයා වූ සෙනසුරුගේ සම්බන්ධය ද වෙතොත් ඉහත සඳහන් කළ මෙකී බලය තව දුරටත් වර්ධනය වනු ඇත.

මිථුන ලග්න හිමි ජන්මියාට කටක වෘශ්චික හා මීන යන රාශීන්ගේ සම්බන්ධතාවයෙන් අර්ථ ත්‍රිකෝණය නිර්මාණය වන අතර ඒ සඳහා සම්බන්ධ වන ග්‍රහයන් වන්නේ සඳු කුජ හා ගුරු ය. චිත්ත කාරක සඳු පුරපස සඳු නම් ඉතාම යහපත් පිහිටීමකි. මෙහි දී මෙම ග්‍රහයන් තිදෙනා ස්වක්ෂේත්‍ර ව පිහිටා සිටී නම් 10 වැන්නේ තැම්පත් ගුරු ට දෙවැන්නේ තැම්පත් සඳු හා හය වැන්නේ තැම්පත් කුජ දෘෂ්ඨියට හසු වේ. එම පිහිටීම ඉතාම බලසම්පන්න වන්නේ මේ නිසාය. 10 වැන්නාධිපති ගුරු 07 වැන්නාධිපති ද වන නිසා විවාහය පැත්තෙන් ද ජන්මියාට වාසනාවන්ත සුබ තත්ත්වයක් ම උදාවනවා ඇත. මෙයට අමතරව ලග්නාධිපති බුධ බලවත් ව සිටීම අර්ථ ත්‍රිකෝණගත බල ශක්තිය තව දුරටත් වර්ධනය කරන පිහිටීමකි.

කටක ලග්නයෙන් උපන් තැනැත්තෙකුගේ අර්ථ ත්‍රිකෝණස්ථාන හිමි වන්නේ දෙවැන්න වූ සිංහ රාර්‍ශ්‍යාධිපති රවි, හය වැන්න වූ ධනු රාර්‍ශ්‍යාධිපති ගුරු හා දස වැන්න වූ මේෂ රාර්‍ශ්‍යාධිපති කුජ යන ග්‍රහයන්ට ය. මෙහිදී මෙම ග්‍රහයන් තිදෙනා ස්වක්ෂේත්‍ර ව තම රාශිවල තැම්පත් ව සිටී නම් හය වැන්නේ සිටින ගුරු ට පමණක් කුජ හා රවි දෘෂ්ඨියට ලක් වේ. එසේ වන්නේ ගුරු ට තමා තැම්පත් රාශියේ සිට පස්වැන්න හත් වැන්න හා නව වැන්න පෙනෙන බැවිනි. කටක ලග්න හිමියාගේ අර්ථ ත්‍රිකෝණ ශක්තිය තවදුරටත් වර්ධනය වන තවත් වැදගත් දෙයක් මෙහි ඇත. එනම් ගුරු හා කුජ යන ග්‍රහයන් දෙදෙනා ම කටක ලගනයට යෝගකාරකයන් වීමයි. මෙවැනි සුබ පිහිටීමක් කටක ලග්න හිමියෙකුගේ කේන්ද්‍ර සටහනක පිහිටා තිබේ නම් ඔහු හෝ ඇය ඉතාම වාසනාවන්ත ධන ධාන්‍යාදී සම්පත් ලබන, යස ඉසුරින් පිරි ජීවිතයක් ගත කරන අයෙක් බව පැහැදිලි කරුණකි.

සිංහ ලග්න හිමි අයෙකුගේ ජන්ම පත්‍රයේ මෙම අර්ථ ත්‍රිකෝණය පිහිටන්නේ කෙසේදැයි විමසීමේ දී බුධ – ශනි හා සිකුරු යන ග්‍රහයන් හමුවේ. ඒ දෙවැන්න වූ කන්‍යා රාශිය, හය වැන්න වූ මකර රාශිය හා දස වැන්න වූ වෘෂභ රාශිය යන රාශින්හි අධිපති ග්‍රහයන් වන බැවිනි. මෙහි දී 10 වැන්නේ තැම්පත් සිකුරුට දෙවැන්න හා හය වැන්න දෘෂ්ඨිගත වන බැවින් එම ග්‍රහයන්ට ද නව ශක්තියක් ලැබෙනු ඇත.

කන්‍යා ලග්නයට අර්ථ ත්‍රිකෝණය හිමි වන්නේ සිකුරු – ශනි හා බුධ යන ග්‍රහයන් තිදෙනාගේ එක්වීමෙනි. ලග්නාධිපති බුධ 10 වැන්නේ ස්වක්ෂේත්‍රව සිටීම ඉතාම සුබ පිහිටීමක් වේ. එවිට බුධගේ උච්ච / මූලත්‍රිකෝණ රාශිය වූ ලග්න භාවය ද බුධගේ දෘෂ්ටියට හසුවනවා ඇත. දෙවැන්නාධිපති සිකුරුට 10 වැන්න පෙනෙන බැවින් තවත් ග්‍රහ යෝගයක් එයින් නිර්මාණය වේ. මීට අමතර ව යෝග කාරක ග්‍රහයා වශයෙන් ද තව දුරටත් සිකුරු වැදගත් ය. මෙම බුධ සිකුරු යෝගය කන්‍යා ලග්නයට ඉතාම බලවත් ව වාසනාව ලබා දෙන ග්‍රහ පිහිටීමකි.

තුලා රාශියට අර්ථ ත්‍රිකෝණය හිමි වන්නේ කුජ – ගුරු හා සඳු යන ග්‍රහයන්ගේ සම්බන්ධයෙනි. වෘශ්චිකය රාශියට ගුරු – කුජ හා රවි ගේ සම්බන්ධතාවය මත අර්ථ ත්‍රිකෝණය පිහිටන්නේය. ධනු රාශියට ශනි – සිකුරු හා බුධ යන ග්‍රහයන්ගේ බැඳීම ද මකර රාශියට ශනි – බුධ හා සිකුරු ද කුම්භ රාශියට ගුරු – සඳු හා කුජ ද මීන රාශියට කුජ – රවි හා ගුරු ද යන ග්‍රහයන් ස්වක්ෂේත්‍ර වී තැම්පත් ව සිටීම මගින් අර්ථ ත්‍රිකෝණය බලවත් ව නිර්මාණය වන්නේය. එම ග්‍රහයන්ගේ දෘෂ්ඨි හා බල දුබලතාවය මත අර්ථ ත්‍රිකෝණයට හිමි වන බලය ද වෙනස් වේ.

සෑම පුද්ගලයෙකුගේ ම කේන්ද්‍ර සටහනේ මෙම අර්ථ ත්‍රිකෝණය පිහිටා ඇත. එහෙත් එම කේන්ද්‍ර සටහනෙහි අදාල රාශිවල ග්‍රහයන් තැම්පත් ව නොසිට්න්නට ද පුළුවනි. ඇතැම් විට එම භාවාධිපතියා වෙනත් රාශියක උච්ච බල සහිතව හෝ ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර සම්බන්ධතාවයකින් සිටින්නට ද හැකි බැවින් ඒ පිළිබඳව ද සැලකිල්ලට බඳුන් කරමින් ජන්මපත්‍ර පරීක්ෂාව සිදු කිරීම වැදගත් වන්නේ ය. තව ද මෙම අර්ථ ත්‍රිකෝණයට සම්බන්ධ ග්‍රහයන් 22 දෙර්කාණාධිපති හෝ 64 වැනි නවාංශකාධිපති වැනි අයහපත් ස්වභාවයන්ගෙන් තොරව සිටීම ද එවැනි ග්‍රහයෙකුගේ නැකතක් නියෝජනය නොකර සිටීම ද අත්‍යවශ්‍ය කරුණකි.

ශාස්ත්‍රපති / ජ්‍යොතිෂවේදී
සමන් ශ්‍රී කොඩිතුවක්කු (B.A. (sp, Hon’s), M.A. ජ්‍යොතිෂපති)

Share with your friends :