27 C
Colombo
19/05/2024

රනිල් දෙගිඩියාවක–විධායක ජනාධිපති ධුරය අහෝසියි-ජාතික බලවේගවලින් ඩලස්ද-විමල්ද

Share with your friends :

පොහොට්ටුවද ?ලන්සාද? රනිල් දෙගිඩියාවක –
ජවිපෙ පුනරුදයට සැරසෙයි-
විධායක ජනාධිපති ධුරය අහෝසියි?
වර්ජන රැල්ල නිර්මාණයක්ද ?
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන සටනට කරු – රාජිත එක්වෙති
සජිත් IMF ගිවිසුම වෙනස් කරන්න යයි-
ජාතික බලවේග වලින් ඩලස්ද-විමල්ද ?
චම්පිකගේ කොහාටද?
CEB බොරු කියලා මාට්ටු
වැට් බද්දට විරුද්ධව සජබ කොළඹට

සෞඛ්‍ය සේවකයන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජන හා උද්ඝෝෂණ රැල්ල ජනාධිපතිවරයා රටේ නොමැතිවීම හේතුවෙන් යම් තරමකට යටගොස් ඇතත් මේ සතියේ ඔහු නැවත ශ්‍රීලංකාවට පැමිණි පසු එය යලිත් කරලියට පැමිණෙනු ඇත. වෛද්‍යවරුන්ට DAT දීමනාව රුපියල් තිස්පන්දහසකින් වැඩි කිරීමට රජය ගත තීරණයත් සමග මේ ගැටුම්කාරී තත්වය ඇතිවී තිබේ. සියලුම රජයේ සේවකයන්ද ඇතුළුව රටේ බහුතර ජනතාව ආරථික වශයෙන් දැඩි අපහසුවකින් ගත කරන තත්වයක් තුල වෛද්‍යවරුන් සඳහා මෙම දීමනාව ලබා දීමේදී රටේ තත්වය අනුව මෙවන් තත්වයක් උද්ගතවන බව ඕනෑම කෙනෙකුට වැටහෙන කාරණයකි. වෛද්‍යවරුන් යනු සෙසු රජයේ සේවකයන්ගේ වැටුප් හා සසඳන කල එමෙන් කීපගුනයක් වැටුප් ලබන පිරිසකි. අනෙක් අතට වෛද්‍යවරුන් සඳහා විදෙස් රටවල ඇති ඉල්ලුම අනුව තිස් පන්දහසක දීමනා වැඩිවීමකින් ඔවුන් මෙරට රඳවා ගැනීමට සිතන්නේ නම් එයද විහිළුවකි. වෛද්‍යවරුන්ට ශ්‍රීලාංකික සමාජයේ ඇති පිළිගැනීම ලොව කිසිදු රටකදී ලැබෙන්නේද නැත. අනෙක් කරුණ නම් රට හැර ගිය බොහෝ වෛද්‍යවරු එසේ ගොස් ඇත්තේ රටේ පවතින අවිනිශ්චිඅත තත්වය හා තම දරුවන්ගේ අධ්‍යාපනය වැනි කාරණා හේතුවෙන් මිස වෙනත් හේතු මත නොවේ. එසේම පැය 24 පුරා සේවයේ නියුතු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් වෘත්තිකයන්ද සිටින බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසති. ඒවාට පිළියම් යෙදීම වෙනුවට මේ අවස්ථාවේ සිදුකල දීමනා වැඩි කිරීම නිසා සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම වැඩ වර්ජනවලට තල්ලු කර තිබේ. මේ දීමනාව සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයටම ලබා දුන්නද අනෙකුත් රජයේ සේවකයන් වැඩ වර්ජන ක්‍රියාවලියකට අවතීරනවීම වැළක්විය නොහැක. මේ ආකාරයට මේ ප්‍රශ්නය විසඳිය නොහැකි මහා අර්බුදයක් බවට පත්වෙමින් තිබේ. පෙබරවාරි පළමුවැනිදා වන විට වෛද්‍යවරුන් හැර සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම වර්ජන ක්‍රියාවලියකට සුදානම්ව සිටිති.
මේ අතර වැඩවර්ජනයේ නිරතවූ විදුලි බල සේවකයන් 66 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ. මීට පෙර ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සේවකයන් 28 දෙනෙකු ආණ්ඩුව අනිවාර්ය නිවාඩු යවන ලදී. ආණ්ඩුව වෘත්තීය සමිති මර්දනය කරන්නට හදන්නේ මේ ආකාරයට නම් ඉදිරියේදී සිදු කරන්නට නියමිත මෙරට මහජන සම්පත් විදෙස් සමාගම් වලට විකිණීමේ හෝ පුද්ගලීකරණ ක්‍රියාවලීන් වලදී තවත් දහස් ගණනක් සේවකයන්ට එම ඉරණමම අත්වනු ඇත. එහෙත් මැතිවරණ ඉදිරියේ තබාගෙන මෙවන් දේ සිදු කරන්නේ නම් එහි අරමුණ මතුපිටින් පෙනෙන දේට වඩා වෙනත් දෙයක් වීමටද ඉඩ තිබේ.

ජනපති රනිල් ස්විට්සර්ලන්තයට හා උගන්ඩාවට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ ස්විට්සර්ලන්තයේ ලෝක ආර්ථික සමුළුවට සහභාගිවිය. එහිදී විවිධ රටවල ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා හා සම්මන්ත්‍රණ රැසකට සහභාගිවූ ඔහු ශ්‍රීලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් විවිධ පාර්ශව දැනුවත් කළේය.

ඉන්පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට සහ G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China)ට සහභාගී වීම සඳහා උගන්ඩාවට ගියේය.උගන්ඩාවේ මහ කොමසාරිස් කනා කනනාදන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස මහත් ගෞරවාදරයෙන් පිළිගන්නා ලදී.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) ගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් විය.මහ කොමසාරිස් කනා කනනාදන් අප්‍රිකානු රටවල් හා ශ්‍රීලංකාව අතර වෙළඳ හා ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීම සඳහා විශාල වෙහෙසක් ගෙන කටයුතු කරනු ලබයි.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ උගන්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්විනි.

නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ඩිජිටල් වශයෙන් මෙන්ම මහා විනාශකාරී ආයුධ මගින් ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින් කීය.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාවෙන් උගන්ඩාවේ කම්පාලා නුවරදී අද (19) ආරම්භ කෙරුණු අතර සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ ඊට එක් වුහ.
උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකා කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා (Cyril Ramaphosa) ,ටැන්සානියාවේ අග්‍රාමාත්‍ය කසීම් මජලිවා ( Kassim Majaliwa ) , බහමාස් අග්‍රාමාත්‍ය පිලිප් ඊ. ඩේවිස් ( Philip E. Davis) , ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ් (Abiy Ahmed) , බෙනින් ජන රජයේ උප ජනාධිපති මාරියම් චාබි ටලටා (Mariam Chabi Talata) ද ද්විපාර්ශ්වික සාකච්ඡා වල නිරත විය.G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වනදා දක්වා කම්පාලා නුවරදී පැවැත්වේ.

සජිත්ගෙන් රනිල්ට දැඩි විවේචන
රටේ ජනතාව ලක්ෂ 12ක ණය කාරයන් වෙද්දි ජනපතිවරයාගේ විදේශ ගමන් ඇතුළු සෙසු කටයුතු සදහා ලක්ෂ 2000ක් වෙන් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.
ජන ජීවිත කඩා වැටී රටේ සම්පත් හිගතාවක් ඇති මොහොතක ජනාධිපතිවරයා වෙනුවෙන් මෙවන් සුවිශාල මුදලක් වෙන් කර තිබීම පිළිබඳ කණගාටු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.රටේ බදු මුදල් වියදම් කර ලෝක සවාරි යන්න ජනාධිපතිවරයා විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පවා ආරාධනා කළ බවත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙන්ම පාර්ලිමේන්තු නිලධාරීන් පවා කතා කරමින් මෙවැනි ආරාධනා සිදු කරන බවත් පාසල් දූදරුවන්ට හරිහැටි අධ්‍යාපන උපකරණ නොමැතිව දුක්විදින මොහොතක ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ පාර්ලිමේන්තුවේ නිලධාරීන් උපයෝගී කර ගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු බිලි බා ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපතිවරයා උගන්ඩාවේ සංචාරය කරන විට විපක්ෂ නායකවරයා ලෙස තමා පාසලකට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමට හැකිවීම තමා ලැබූ ලොකුම භාග්‍යයක් වන බවත් ප්‍රේමදාස මෙහි දී පැවසීය.
සක්වල වැඩසටහනේ 67 වැනි අදියර යටතේ රත්මල්ගහවැව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

ඇගලුම් කම්හල් ගිනි තියපු අය ඩොලර් ගේන එක ගැන අපූරු කතා කියනවා
එක්සත් විකල්ප යැයි කියා ගන්නා දේශපාලන පක්ෂයක සාමාජිකයකුගේ බිරිඳක් වන සමන්මලි නම් කාන්තාවක් විසින් වෙනත් වෘත්තියක් නීතිගත කළ පසු විදේශ විනිමය ලබා ගත හැකි යැයි පවසා ඇති බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ඇගලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ආරම්භ කරන විට සුද්දියන්ට යට ඇදුම් මහන්න ගමේ කොල්ලන් කෙල්ලන් යොදා ගන්නවා යැයි මතවාද පතුරවමින් එම කර්මාන්තශාලා ගිනි තැබූ පුද්ගලයන්ම තොරතුරු තාක්ෂණ අපනයනය, නිෂ්පාදන කර්මාන්ත අපනයන, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදන අපනයනවලට වඩා වෙනත් වෘත්තීන් උපයෝගී කර ගෙන ඩොලර් සෙවිය හැකි බව පවසන බවත් මෙවැනි අයුතු යෝජනාවලට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතු බවත් ආගම ධර්මය සංස්කෘතියට සදාචාරයට පිටුපා මෙවැනි වෘත්තීන් නීතිගත කර ඩොලර් සෙවීම කිසිසේත්ම අනුමත නොකරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
VAT බද්දට එරෙහිව සජබ කොළඹට
මේ අතර වැට් බද්ද හා අධික ජීවන වියදම හේතුවෙන් රටේ ජනතාව පත්ව ඇති අපහසුතාව සම්බන්ධයෙන් රජයට විරෝධය පලකිරීම සඳහා සමගි ජන බලවේගය සංවිධානය කරන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ජනවාරි 30 වැනිදා කොළඹදී පැවැත්වේ. මේ සඳහා සියලු ප්‍රදේශ වලින් ජනතාව පැමිණීමට නියමිත අතර කොළඹ -ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක මෙහිදී සංවිධාන කටයුතු වල වැඩි බරක් දරන බව සඳහන්ය.

IMF නිසා ජනතාවට තවත් බර පැටවෙන හැඩ – දේපල බද්දටත් අවධානය
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වෙමින් පැවතියත් ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ප්‍රකාශ කළේය.

Tax

එසේම ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විශාල ජනතාවක් වෙත තවමත් ළඟා වී නොමැති බවද පීටර් බෲවර් මහතා පැවැසුවේය.එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා දේපල බද්ද ශ්‍රී ලංකාවට සහාය වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

තම රජයක් තුල IMF ගිවිසුම වෙනස් කරන බව සජිත් IMF නියෝජිතයන්ට දන්වයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.
ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් Peter Breuer (Senior Mission Chief), Sarwat Jahan (Resident Representative), Manavee Abeyawickrama (Local Economist) පැමිණ සිටියහ.
එහි දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හට කියා සිටියේ වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යැයි පවසමින් ජනතාවට විශාල බදු බරක් ලබා දෙමින් වැට් බදු ඇතුළු බදු වර්ග රැසක් අධික ලෙස වැඩි කර ඇති බවයි. මේ නිසා සාමාන්‍ය ජනතාව, ගර්භනී මාතාවන්, දරුවන්, මධ්‍යම පාන්තිකයන්, රාජ්‍ය සේවකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයන් අසරණ වී ඇති බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී සාක්ෂි, සාධක සහ දත්ත සහිතව පෙන්වා දුන්නේය.

එබැවින් සමගි ජන බලවේග රජයක් යටතේ, වත්මන් රජය IMF සමග ඇති කර ගත් ඒකපාර්ශ්වීය ගිවිසුම සංශෝධනය කර පොදුජනතාවට වැදගත්, ජනතාවාදී ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේය.

එසේම වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අසරණ වී ඇති ජනතාව එම අසරණ භාවයෙන් මුදවා ගැනීමටත් පවතින බංකොලොත්භාවයෙන් රට ගොඩ ගෙන දුකට, අසරණභාවයට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට සමගි ජන බලවේගය විපක්ෂයේ සිට කටයුතු කරනවා සේ ආණ්ඩු බලය ලැබුණු විගස කටයුතු කිරීමට ද විධිමත් සැලසුමක් මේ වනවිටත් පවතින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

IMF හා ජනතා විමුක්ති පෙරමුණ අතර හමුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් (18) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මේ සඳහා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහභාගී නොවීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් , මුල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත සර්වත් ජහාන් සහ මානවී අබේවික්‍රම යන අය ඊට සහභාගි වුහ.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරමින් සුනිල් හදුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත, ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය සහභාගි වුහ. මෙහිදී IMF යෝජනා රටේ යහපත සංහා විය යුතු බවටත් ඒ වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම් සිදු කලයුතු බවටත් ජවිපෙ නියෝජිතයෝ IMF නියෝජිතයන් වෙත දන්වා තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන සටනට කරු – රාජිත එක්වෙති
මේ අතර කරු ජයසුරියගේ නායකත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මේ වන විට වේගවත් වැඩපිළිවෙලක් දියත් කර තිබේ. එහි රැස්වීමක් පසුගියදා කොළඹ ජානකී හෝටලයේ පැවැත්විණි.
මේ අවස්ථාවට සහභාගිවෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ඕනෑම කෙනෙකුට තම සහය ලබා දෙන බවය. තමා විධායක ජනාධිපති ක්‍රමය ආරම්භයේ සිටම එනම් 1978 සිට ඊට එරෙහිව සටන් කල බව රාජිත එහිදී සිහිපත් කළේය. එදා 1978 දී රාජිත සමග විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ආචාර්ය එන්.එම්.පෙරේරා, රෙජිනෝල්ඩ් කුරේ, වාසුදේව නානායක්කාර ,GID ධර්මසේකර,මහින්ද විජේසේකර හා කාලෝ ෆොන්සේකා ආදීන්ද එක්ව සිටිබව රාජිත සිහිපත් කළේය.
ඒ සමගම මැතිවරණ ක්‍රමය වෙනස් කර ආසන ක්‍රමයට යායුතු බවත් රාජිත පැවසීය. දිස්ත්‍රික් මනාප ක්‍රමය හේතුවෙන් අහිංසක පුද්ගලයකුට පාර්ලිමේන්තුවට යාමට ඇති අවස්ථාව අහිමිවී ඇති බව කී රාජිත වර්තමාන ක්‍රමය හේතුවෙන් රටේ බොහෝ ප්‍රශ්න වලට මුල්වී ඇති බවත් දුෂණ ඇතිවී තිබෙන බවත් උදාහරණ සහිතව පෙන්වා දුන්නේය.
යෝජිත ඔන් ලයින් පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජිත පැවසුවේ මීට වඩා මාධ්‍ය ආචාර ධර්ම ක්‍රමවේදයක් ගෙන ඒම උචිත බවය.මෙහිදී මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ආචාර්ය රංග කලන්සුරිය පැවසුවේ රටවල් 113 ක මේ පනත ගෙනවිත් ඇති බවත් රටවල් 80 ක පමණ දැනටත් එය භාවිත වන නමුත් ශ්‍රීලංකාවේ එය අදාළ පාර්ශව සමග නිසි සාකච්ඡා හෝ අදහස් විමසීමකින් තොරව ගෙන එම ගැටළුවක් බවය. එංගලන්තයේ මෙම පනත ගෙන ආවේ වසර හතරහමාරක් පුරා අදාළ අංශ සමග සාකච්ඡා වලින් පසුව බවද රංග මෙහිදී පැවසීය.

පොහොට්ටුවේ තීරණය
පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මේ වන විට සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේය. බැසිල් රාජපක්ෂ ජනවාරි අවසන් සතියේ හෝ පෙබරවාරි මුල් සතියේ ශ්‍රීලංකාවට පැමිණීමට නියමිතය. ඔහු මීළඟ මැතිවරණ ඉලක්ක කරගෙන ඇමරිකානු පුරවැසි භාවය අත්හරින බවට විවිධ තොරතුරු පැතිර ගියද එහි සත්‍ය අසත්‍යතාවය කිසිවකුත් දන්නේ නැත. ඇතැමුන් කියන්නේ ශ්‍රීලංකාවට පැමිණි වහාම ඔහු යලි පාර්ලිමේන්තුවට පිවිසෙන බවකි. එසේ නම් ඒ සඳහා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන සිටිය යුතුය. මේ දිනවල ප්ලාන්ට් නිවුස් දසත පැතිර යමින් ඇති නිසා සත්‍යය කුමක් දැයි තවමත් කිව නොහැක.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරනයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමේ හැකියාවක් ද පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.එළඹෙන ජනාධිපතිවරණයේදී ගමේ ජනතාවගේ ඉල්ලීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි සැලකිල්ල යොමුකරන බවත් එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත්වීමට හෝ නොවීමට හැකියාව තිබෙන බව ද කී ඒ මහතා එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂයා සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව ද සඳහන් කළේය.

පොහොට්ටුවද – ලන්සාද – රනිල් මොනවා කරයිද ?
මහින්ද රාජපක්ෂ මෙසේ පැවසුවද පොහොට්ටුව බොහෝදුරට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපතිවරනයේදී සහය දීමට ඇති අවස්ථාව බොහෝ වැඩිය. දැනටමත් රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පොහොට්ටුවේ තරුණ ඇමතිවරුන් පිරිසක් එක්ව සිටිති. කාංචන,ප්‍රමිත, සේමසිංහ ,දිලුම් ඇතුළු තරුණ ඇමතිවරුන් රනිල් සමගය. ප්‍රසන්න රණතුංග ද දැන් ප්‍රසිද්ධියේ රනි වෙනුවෙන් පෙනී සිටී. පොහොට්ටුවෙන් වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම යනු පොහොට්ටුව තවදුරටත් කැඩී යාම මිස වෙනකක් නොවේ. අනෙක් අතට මහින්ද – රනිල් දශක ගණනාවක මිත්‍රත්වය මෙහිදී වඩාත්ම තීරණාත්මක සාධකයක් වනු ඇත. එහෙත් ප්‍රශ්නය ඇත්තේ රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය සඳහා කඳවුරු බැඳගෙන සිටින ලන්සා -නලීන් කණ්ඩායමේ රාජපක්ෂ විරෝධය හා රනිල් වික්‍රමසිංහට පොහොට්ටුවේ සහය ලබාදීම එකට නොපෑහීමය. ඇතැම් විට රනිල් වික්‍රමසිංහට මේ පාර්ශව දෙකෙන් එකක් තෝරා ගැනීමට ඉදිරියේදී සිදු වනු ඇත. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කාරනා හේතුවෙන් කතෝලික ඡන්ද පදනම හා සම්බන්ධ කාරණය මෙහිදී තීරණාත්මකය.


සන්ධාන පැටවූ ගහන හේතුව
මීළඟට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා නව සන්ධාන පිහිටුවා ගැනීම මේ දිනවල සුලභ සිදුවීමක් වී තිබේ. තනිවම පක්ෂයකට එකතු වුවහොත් එහිදී අදාළ පක්ෂයේ නීතිරීතිවලට යටත්වීමට සිදුවීමත් සන්ධානයකට වෙනත් පාර්ශවයක් ලෙස එක්වීම වඩා ආරක්ෂිතවීම හා වාසිදායක වීම නිසා බොහෝදෙනා මෙසේ සන්ධාන ගතවීමට පෙළඹ සිටිති.
මෙසේ එක්වන ඇතැම් පිරිස් වලට මහජන සහයෝගයක් තිබේද යන්නද සැකසහිතය.
ඇතැමුන්ට පවුලේ සහ ඒ සමීප සේවකයන් හැර සාමාන්‍ය ජනතාවගේ ඡන්දය ලැබේද යන්න පවා සැක සහිතය.
ගියවර ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය හේතුවෙන් ඇතිවූ රැල්ල හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි බොහෝ දෙනෙකුට මෙවර ජය ගත හැකිවේදැයි යන්න බරපතල ප්‍රශ්නයකි. ඔවුන් බොහෝ දෙනෙකු ජනතාවට කල සේවාවක්ද නැත. කොවිඩ් ,අරගල තත්වයන් හා අයහපත් ආර්ථිකය ඇතැම්විට එම තත්වයට බලපාන්නට ඇත. එහෙත් මෙවන් ඇතැම් පාර්ශව සමග සන්ධාන ගතවීමෙන් විශේෂ දේශපාලන වාසියක්ද නොමැත. අනෙක් කරුණ නම් බොහෝ සන්ධාන ගැන එකම පුද්ගලයන්ගේ නම් කියවීම පසුපස ඇත්තේ බොහෝ දෙනා විවිධ පක්ෂ හා සන්ධාන ගණනාවක් සමගම සාකච්ඡා කිරීමය. ඊට හේතුව කෙසේ හෝ පාර්ලිමේන්තුවට පැමිණෙන්නට මගක් සොයා ගැනීම හා අනාගත රජයක තනතුරු ලබා ගැනීමය.

එජාප සන්ධානය හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නිර්පාක්ෂික අපේක්ෂයා
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය මේ වන විට පක්ෂයේ වගකීම අතට ඉදිරි මැතිවරණ සඳහා පක්ෂය මෙහෙයවීම සඳහා කටයුතු ආරම්භ කර තිබේ.
රුවන් විජේවර්ධන, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු, නවීන් දිසානායක, වජිර අබේවර්ධන හා මනුෂ නානායක්කාර එජාප නායකත්ව මණ්ඩලයට පත් කර තිබේ.
සමගි ජනබලවේගය ප්‍රමුඛ සන්ධානය සැදීම සඳහා සෙසු පක්ෂ සමග සාකච්ඡා කිරීමේ කටයුතු රවී කරුණානායක හා වජිර අබේවර්ධන විසින් සිදු කරනු ලබයි. මනුෂ නානායක්කාර මෙවර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරි මැතිවරණ සඳහා තරග කරන්නට නියමිත බව පැවසේ. මේ හේතුවෙන් හසිත සමන්ත මුහන්දිරම් වැනි එජාප රත්නපුර සංවිධායකවරුන් කලබලයට පත්ව සිටිති.
නව සන්ධානයෙන් රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙසටය. එහිදී රනිල්ගේ ප්‍රධාන සටන් පාඨය බව පැවසෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමය.


අනුර කුමාර දිසානායක පුනරුදයේ යුගය අරඹයි
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේ වන විට පුනරුදයේ යුගයක් ගොඩනැගීම සඳහා අරමුණු කරගත් ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. සාධනීය ජාතිකත්වය මගින් රට දියුණු කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන ඉදිරියේදී එලි දැක්වෙනු ඇත. මේ වන විට ජාතික ජනබලවේගය ලෙස විවිධ පාර්ශව එක්කර ගනිමින් ඉදිරියට යාමට ඔවුන් සමත්ව සිටින්නේ මෙතෙක් ජනතා විමුක්ති පෙරමුණ නුදුටු නවමු ලොවක් ඔවුන් වෙත විවර කර ගනිමිනි.
ජාතික ජන බලවේගය වෙත කාන්තා ආකර්ෂණය වැඩිවී ඇති බවක් පෙනීයන්නේ මේ වන විට එහි කාන්තා සමුළු සඳහා කාන්තාවන් ඒකරාශීවීම සලකන විටය. හරිනි අමරසුරිය වැනි ලිබරල්වාදී චරිත ඒ වටා එක්වීමත් සමග ඊට එක්වන වෘත්තීයවේදීන්ගේ ප්‍රමාණයද සැලකිය යුතු ලෙස ඉහල ගොස් තිබේ.

ලන්සා – නලින් කණ්ඩායමේ මංගල මහජන රැලිය ලබන 27 වැනිදා ජා ඇලදී
නව සන්ධානයේ මංගල මහජන රැලිය ලබන 27 වැනිදා ජා ඇල නගර මධ්‍යයේදී පැවැත්වීමට නියමිතය.නව සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලීන් ප්‍රනාන්දුගේ ආරාධනයෙන් එම සන්ධානයේ මෙහෙයුම් නායක හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා,අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්,පියංකර ජයරත්න සහ නිමල් ලන්සා යන මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මේ සදහා එක්වීමට නියමිතව තිබේ.
මීට සමගාමීව නව සන්ධානය එලි දැක්වීමේ කටයුතුද මේ මස අවසන් වීමට ප්‍රථම අවසන් කිරීමට නිමල් ලන්සා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරමින් සිටිති.
මේ දිනවල එම නව සන්ධානය සෙසු පක්ෂ සමග එක්වීමට අදාල නීතිමය කටයුතු සහ නව සන්ධාන ව්‍යවස්ථාවේ කටයුතු සිදුකරමින් තිබේ.එම කටයුතු ඉදිරි සති දෙක තුල අවසන් කර ගැනීමෙන් පසු නව සන්ධානය එලි දැකීම සිදුවන අතර ඒ අනුව ඉදිරි කාලය තුල එන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට නව සන්ධානය කටයුතු සූදානම් කර තිබේ.
මේ අතර නව සන්ධානයේ පුත්තලම් දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවක් පියංකර ජයරත්න මන්ත්‍රීවරයාගේ ආණමඩුව පිහිටි නිවසේදී පැවත්වුනේ අනුර යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.මේ සදහා ආණමඩුව ආසනයේ කලාප නියෝජිතයින් සහ පලාත් පාලන නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

සමගි ජන බලවේගයේ කළුතර රණවිරු මහා සමුළුව අස්සේ එලියට ආ කතාව

පසුගියදා සමගි ජන බලවේගයේ කළුතර රණවිරු මහා සමුළුවට එම පක්ෂයෙන් ලබාදුන් අරමුදල් වංචාවක් සම්බන්ධයෙන් දැනට පාර්ලිමේන්තුව නියෝජන නොකරන හිටපු දේශපාලනඥයෙකුට චෝදනා එල්ලවී තිබේ. අදාළ හෝටලය එහි සංවිධායකවරුන් විසින් නොමිලේ ලබා දුන් බවට මේ වන විට හෙළිවී ඇති අතර ඒ සඳහා අදාළ දේශපාලනඥයා පක්ෂයෙන් මුදල් ලබා ගෙන ඇති බව කියවේ. එසේම මේ සඳහා ආරධනා යැවීමට දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු ලබා දුන් මුද්දර අවභාවිත කිරීමක් සම්බන්ධයෙන්ද මෙම හිටපු දේශපාලනඥයාට චෝදනා එල්ලවී තිබේ. එසේම දැනට කැනඩාවේ වාසය කරන හිටපු හමුදා නිලධාරියකු සංග්‍රහ කටයුතු සඳහා එවන ලද මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන්ද පක්ෂයේ ඉහලටම පැමිණිලි ලැබී තිබේ. මෙවන් පිරිස් සමග පක්ෂය ගොඩනැගීම පහසු නොවන බව එම පක්ෂයේ කළුතර ප්‍රබලයන් පක්ෂ නායකත්වයට පෙන්වාදී තිබේ.

 

චම්පික කොයිබටද ?

චම්පික රණවක සහ ඔහුගේ එක්සත් ජනරජ පෙරමුණ ඉදිරි මැතිවරණ වලදී කවර පක්ෂයක් සමග සන්ධාන ගතවේද යන්න තවමත් පැහැදිලි නැත. ජනාධිපතිවරණය සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාර්ශ්වයෙන් චම්පික ඉදිරිපත් කෙරෙන බවට විවිධ කටකතා පැවතුනද ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් තවමත් එවැනි සාකච්ඡා හෝ පවත්වා නොමැත. චම්පික විවිධ සංඛ්‍යාත්මක තර්ක ඉදිරිපත් කරමින් වෘත්තිකයන් අතර ජනප්‍රිය චරිතයක් වුවද තවමත් ඔහු ග්‍රාමීය වශයෙන් සාමාන්‍ය ජනතාවට තරමක් දුරස්ය. ඊට හේතුව කොතරම් දක්ෂයකු වුවද සාමාන්‍ය ග්‍රාමීය ජනතාවට සරල බසින් ඇමතිය යුතුවීම මෙන්ම ගම්බද ජනතාවගේ අවශ්‍යතා සරලවීමය. පැවති රජයන් ගණනාවකම ප්‍රධානතම ඇමති ධුර දැරූ චම්පික රණවක එම ධුර කාලයන් තුල වැඩි වශයෙන් වෘත්තිකයන් සම්බන්ධ කරගෙන කටයුතු කල ආකාරයක් දැක ගත හැකි විය.වෘත්තියෙන් ඉංජිනේරුවකු වන චම්පිකට පසුගිය කාලය පුරා උගත් මධ්‍යම පන්තිය හා පාවෙන ඡන්ද ආකර්ෂණය කර ගත හැකිවූ අතර මේ වන විට එම පාවෙන ඡන්ද වෙනත් පාර්ශව විසින් ආකර්ෂණය කරමින් සිටී.

ජාතික බලවේගවල අපේක්ෂකත්වය විමල්ටද – ඩලස්ටද ?
විමල් වීරවංශ ජාතික බලවේග එක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාර්ශව කීපයක් සාකච්ඡා වට කීපයක්ම පවත්වා තිබේ. ඇතැම් පාර්ශව ඩලස් අලහප්පෙරුමගේ නමද ඒ සඳහා යෝජනා කර තිබේ. ඩලස් යනු අන්තවාදියකු නොවන සේම බොහෝදෙනා ඩලස් සමග ගැටුම්ද නොමැත.
විමල් වීරවංශ , උදය ගම්මන්පිල හෝ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රධාන සන්ධාන වලට බඳවා නොගන්නා තත්වයක් මේ වන විට ඇතිවී තිබෙන්නේ ඔවුන්ගේ සිංහල බෞද්ධ මතවාදය හේතුවෙන් මැතිවරණ වලදී තීරණාත්මක වන සුළු ජාතික ඡන්ද නොලැබීයාමේ බිය නිසාය. මේ වන විට සුළුජාතික ඡන්ද ප්‍රතිශතය සියයට 31 ක් දක්වා වර්ධනය වී තිබේ. ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා මේ ඡන්ද අතිශය තීරණාත්මකය.
ඩලස් අලහප්පෙරුම හා මහාචාර්ය චරිත හේරත් ඇතුළු නිදහස කණ්ඩායමේ කීපදෙනෙකු තවමත් කිසිදු පක්ෂයකට හෝ සන්ධානයකට එක්ව නොමැත.
මේ අතර පසුගියදා පැවති සම්මන්ත්‍රණයක් අමතමින් විමල් වීරවංශ සඳහන් කලේ “සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම” පනත් කෙටුම්පත සම්මත වුණොත් යුද්ධයට අණ දුන් හමුදා ප්‍රධානීන් යුධ අපරාධකරුවන් කිරීමේ ජිනීවා යාන්ත්‍රණය සම්පූර්ණ වන බවය .
“2015 ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි 30/1 යෝජනාව අනුව යමින්, 2015 සිට මේ වන විට බෙදුම්වාදී ත්‍රස්තවාදය පැරදවීමේ යුද්ධයට අණ දුන් – නියෝග දුන් හමුදා ප්‍රධානීන් යුද අපරාධකරුවන් කිරීමේ යාන්ත්‍රණය සම්පූර්ණ කිරීමට නීතිමය රාමු හතක් එනම් පනත් හතක් සකස් කර අවසන් බවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජනවාරි පළමුවැනිදා ගැසට් කරනු ලැබූ “ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත” සම්මත වුවහොත් අදාළ යාන්ත්‍රණය සර්ව සම්පූර්ණ වන බවටත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අනතුරු හැඟවීය.

ධම්මික පෙරේරා එංගලන්තයේ
ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉලක්ක කර ගෙන පොහොට්ටුවේ ඇතැම් ඇමතිවරු මේ වන විට විවිධ මට්ටමින් වාග් ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ පොහොට්ටුවේ අපේක්ෂකත්වය සම්බන්ධයෙනි.
ඇමතිවරු මෙසේ ප්‍රහාර එල්ල කරද්දී ධම්මික තම දියණියන් බැලීමට එංගලන්තයට නිවාඩුවකට ගොස් සිටින බව සඳහන්ය.
පොහොට්ටුවේ පුර්ණ ආශිර්වාදය නොමැතිව ජයග්‍රහණය ස්ථිර නොවන සටනකට ධම්මික පෙරේරා ඉදිරිපත් නොවනු ඇත.අනෙක් අතට මෙවැනි අභියෝගාත්මක වාතාවරණයක හැර ප්‍රධාන පක්ෂ කිසිවකුත් තමන්ගේ අපේක්ෂකත්වය වෙනත් පාර්ශවකට ලබාදීමද සැක සහිතය.

විදුලි බල මණ්ඩලය -PUCSL නොමග හැරලා – PUCSL අධ්‍යක්ෂකවරු නිදිද ?
විදුලි බිල ඉතාම සුළු ප්‍රමාණයකින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලය ගන්නා උත්සාහයට රටේ ජනතාවගේ දැඩි විරෝධය එලලවී තිබේ. මේ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසන් සභාවට ලබාදී ඇත්තේ වැරදි දත්තයන්ය. මෙහිදී ලබාදී ඇති දත්ත හා සැබෑ ලාභය අතර වෙනස රුපියල් මිලියන පනස්දහසකි. විදුලි බල අංශයේ ප්‍රවීනයන් පවසන්නේ වර්තමාන විදුලි ගාස්තු අඩුම තරමින් සියයට විස්සකින් අඩු කල යුතු බවය. විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ආකාරයට ගාස්තු වැඩි කරන්නට නම් මහජන උපයෝගිත කොමිසමක් අවශ්‍ය නැත. මහජන උපයෝගිත කොමිසම වගකීම් විරහිතව කටයුතු කරන්නේ නම් එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ගත යුතුව තිබේ. අසාධාරණ විදුලිගාස්තු නිසා වැසීගිය කර්මාන්ත ශාලා ,අහිමිවූ රැකියා , රැකියා අහිමිවීම නිසා දිවි නසාගත් ජීවිත සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අනාගතයේදී නඩු පැවරිය යුතුව තිබේ. එසේම විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන්ටද මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ. රජය මේ ගැන මුනිවත රකින්නේ රජයේ එදිනෙදා වියදම් ආවරණය කරගන්නට විදුලි ගාස්තු හා ජල ගාස්තු උපයෝගී කරගන්නවාද යන සැකය මේ වන විට ජනතාවට ඇති වෙමින් තිබේ.

Share with your friends :