27 C
Colombo
16/05/2024

දරුවන් නැති ගැහැනියකගෙන් ……

Share with your friends :

බැඳල හරියට වසර නවයයි
මගේ කුස තවමත්ම හිස්මයි
කොයිතරම් දෑ කලත් වෙහෙසී
උරුම නැති දේ පිලිසිඳිල්ලයි…
නෝක්කඩු පුස් වදන් විතරයි
කරුමේ වෙලාව මටම උරුමයි…
කුසක් නොපිරුන කතක් විතරයි
දන්නේ විඳවන විදිහෙ ගැඹුරයි….

කිසිම අඩුවක් නැතුව හැම දේ
ඔප්පු වෙනවා සෑම තැනකම….
කලට වේලට සියලු දේමත්
සිද්දවෙනවා නියම ගානට…
මොකද්දෝ පෙර පවක් හින්දා
අහිමි වීමක් පැනලා මැද්දට…
ජීවිතේ අපේ හිනාවක් යට
ඇවිලෙන්නෙ ගිනි ගොඩකි සැරටම…

නොවඳිනා දෙවියෙක් නැතුව ඇති
නොගිය දේවාලයක් ගානෙම
නොකල පූජා තොවිල් නැතුවැති
ඒ තරම් අරහන්නේ දැං මට..
ගැහැනියක් අම්මෙක්ම වන්නට
නොහැකි වී අසරනම වෙන තැන…
කිසිම එකියක් හිත හදන්නෑ
උන් තලන්නෙම මාව හරහට…
වඳ වදන් මූසලයි නොකියා
කියයි සමහරු නොකී ගානට.
ඒත් ඉවසමි වැදුව දවසට
මමත් අම්මෙක් වේවි දවසක..

ජෝඩුවක් තුන් පත් රෑන වී
ගෙදර සාලේ අඬන සද්දෙට..
රෑට හීනෙන් තාම ගැස්සෙයි
කඳුලු පොඟවන් මැදියමේ සිට…
ගැහැනියක් කිසි දිනෙක දරුවෙක්
නැතුව ඉන්නා කෙනෙක් දැක්කම
අත තියාලා බඩට ඇහුවොත්
තාම නැද්දෝ ඉතිං ඔහෙලට…
ඊට වැඩියෙන් හොඳයි සත්තයි
උලක් අරගෙන තියුනු විදිහට
ඇනල බලපං බොක්කේ ඇති ගිනි
ඒකි විඳවන තරම ගින්දර…..
-සුදිසා-
නිසඳැස් කවි ගී අරණ

Share with your friends :