27 C
Colombo
19/05/2024

කෙහෙලිය හෙට CID යට – රටින් පිටවීමත් තහනම්

Share with your friends :

හෙට (02) පෙරවරු නවයට පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට නියෝග කර තිබේ.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අභයවික්‍රම මහත්මිය මෙම නියෝගය නිකුත් කර ඇත.

ඇය මෙම නියෝගය නිකුත් කළේ මතභේදාත්මක එන්නත් ගණුදෙනුව සම්බන්ධයෙන් වන නඩුව කැදවූ අවස්ථාවේ සිදු කරන ලද පරීක්ෂණවලට අදාළව නීතිපතිවරයා විසින් සිදු කරන ලද ඉල්ලීමක් සලකා බලමිනි.

එමෙන්ම කෙහෙලිය රඹුක්වැල්ල මහතාට රටින් පිටවීම තහනම් කරමින් වාරන නියෝගයක්ද නිකුත් කර ඇත.

මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) හමුවේ පසුගිය ජනවාරි 31 දා දිනයේ පෙනී සිටීමට නොහැකි වූයේ සැබවින්ම වෙනත් අධිකරණ කටයුත්තක් නිසා දැයි විමර්ශනයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට 31 දා පෙරවරු 9.00 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබියදී කොළඹ මහාධිකරණයේ විභාග වන වෙනත් අධිකරණ කටයුත්තක් ඇති බැවින් පැමිණිය නොහැකි යැයි ලිපියකින් දන්වා තිබූ බවත් අදාල නඩුව හේතුවෙන් ඒ මහතාට පැමිණීමට නොහැකි තත්වයක් තිබුණේ ද යන්න පිළිබඳව විමර්ශනය කරන බවත් එම නිලධාරියා කීය.

රඹුක්වැල්ල මහතා සහභාගි වූ නඩුව ආරම්භ වූයේ කීයටද?, අවසන් වූයේ කීයටද?, ඒ මහතා අධිකරණ පරිශ්‍රය තුළ කොපමණ වේලාවක් ගත කළේද? ඉන් පිටව ගියේ කීයටද? ආදි තොරතුරු ගන්නා බව ද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

මෙම විමර්ශනයට අදාලව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණ සංකීර්ණයේදී පුද්ගලයන් කීපදෙනකුගෙන් ප්‍රකාශ ගෙන ඇත.

Share with your friends :