27 C
Colombo
16/05/2024

දසුන් ශානකට කැමති අයට කණගාටුදායක පුවතක්

Share with your friends :

ඇෆ්ගනිස්තානය සමග පල්ලෙකැලේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද 16 දෙනකුගෙන් යුත් සංචිතයෙන්  හිටපු සීමිත පන්දුවාර නායක දසුන් ශානක ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඔහුගේ ස්ථානය සඳහා තුන් ඉරියව් ක‍්‍රීඩක චාමික කරුණාරත්න නැවත සංචිතයට කැඳවා ඇත.

එක්දින ජාත්‍යන්තර තරග 71කදී ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති හිටපු නායක දසුන් ශානක එම එක්දින තරග අතරින් තරග 13 ක් සඳහා පල්ලෙකැලේ ක‍්‍රීඩාංගනයේදී තරග වැදී ඇත.

ඉන් එක් තරගයකදී පිතිකරණය සඳහා පිටියට නොපිවිසි දසුන් එම තරගවලදී වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 405 ක් වේ.

ඒ අතරින් ද එක ඉනිමක නොදැවී ක‍්‍රීඩා කර ඇති දසුන්ගේ පල්ලෙකැලේ පිටියේ පිතිකරණ සාමාන්‍ය අගය 36.81 ක් වන අතර එය ඔහුගේ සමස්ත එක් දින පිතිකරණයේ  සාමාන්‍ය අගය වන 22.39 ට වඩා  14.42 ක වැඩි වීමකි.

එමෙන්ම දසුන් තරග 71කදී වාර්තා කර ඇති ලකුණු 1299 න් 405 ක් ම එනම් තුනෙන් එකකටත් වැඩි ලකුණ සංඛ්‍යාවක්  වාර්තා කර ඇත්තේ පල්ලෙකැලේ ක‍්‍රීඩාංගනයේදීය.

එමෙන්ම දසුන්ගේ හොඳම එක් දින ඉනිම්  6 න් ඉනිම් 3ක්ම ශ‍්‍රී ලංකාවේදී වාර්තා වී ඇති අතර එම ඉනිම් තුනම ඔහු ක‍්‍රීඩා කර ඇත්තේ  පල්ලෙකැලේ ක‍්‍රීඩාංගනයේදී වේ.

ඒ අතරින් සිම්බාබ්වේට එරෙහිව වාර්තා කළ ශතකය සහ දකුණු අප‍්‍රිකාවට සහ එංගලන්තයට එරෙහිව වාර්තා කළ අර්ධ ශතක දෙකක් අන්තර්ගතය.

දසුන් ශ‍්‍රී ලංකාවේදී ඉහළම දස්කම් දැක්වූ එක්දින ඉනිම් 3 ම පල්ලෙකැලේ පිටියේ දී වාර්තා වූවා මෙන්ම පන්දු වාර විස්සයි විස්ස තරගයකදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පන්දු 25 කදී නොදැවී ලකුණු 54 ක් ලබා ගනිමින් නොතිබූ ජයග‍්‍රහණයක් ශ‍්‍රී ලංකාවට  ගෙනාවේ ද පල්ලෙකැලේ පිටියේදීය.

පසුගිය ලෝක කුසලාන එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ දසුන් ශානක පසුව ආබාධයකට ලක්ව සංචිතයෙන් ඉවත්ව සිටි නමුත් නව තේරීම් කමිටුව යටතේ ඔහුට සිම්බාබ්වේ සමග එක්දින සහ පන්දු වාර 20-20 තරගාවලි දෙකටම ක‍්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවුණි.

එහෙත් සිම්බාබ්වේ සමග පැවති  පළමු එක්දින තරග දෙකේදී ලකුණු 07 කට සහ ලකුණු 08 කට දැවී ගොස් අසාර්ථක වූ දසුන් තෙවැනි එක්දින තරගයෙන් ඉවත් කෙරිණි.

එමෙන්ම ඔහුගේ අවසන් එක් දින ඉනිම් විසි එක තුළදීම ඔහු වාර්තා කරගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණි.

තවද සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගාවලිය සඳහා නම් කරන ලද ක‍්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට එක්ව සිටි ජෙෆ්රි වැන්ඩසේ සහ නුවනිදු ප‍්‍රනාන්දු ද ඇෆ්ගනිස්තානයට එරෙහි සංචිතයෙන්  ඉවත් කර ඇති බව වාර්තා වේ.

තෝරාගත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය අනුමැතිය සඳහා දැනටමත් ක‍්‍රීඩා අමාත්‍යාංශය වෙත යවා ඇත.

ඇෆ්ගනිස්තානය සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (09) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි සහ තෙවැනි එක්දින තරග ලබන 11 සහ 14 දෙදින එම ක‍්‍රීඩාංගනයේදීම පැවැත්වේ.

එම සියලු තරග දිවා රාත‍්‍රී තරග ලෙස පැවැත්වෙන අතර පස්වරු 2.30 සිට තරග ආරම්භ වීමට නියමිතය.

සිම්බාබ්වේට එරෙහි දෙවැනි එක්දින තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ තුන් ඉරියව් ක‍්‍රීඩක ජනිත් ලියනගේ, ඩිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර, ප‍්‍රමෝද් මධුෂාන්, පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජය සහ දුනිත් වෙල්ලාලගේ සමගින් නැවතත් සංචිතයේ ස්ථානය තහවුරු කර ගත්හ.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමගින් පළපුරුදු තුන් ඉරියව් ක‍්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සහ යොවුන් ආරම්භක පිතිකරු ෂෙවෝන් ඩැනියෙල් ද 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් වේ.

මේ අතර, ඇෆ්ගනිස්තාන ක‍්‍රිකට් පාලක මණ්ඩලය  තරගාවලිය සඳහා ක‍්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ඔවුන්ගේ සංචිතය ප‍්‍රකාශයට පත් කර තිබේ.

ඔවුන්ගේ අංක එකේ දඟ පන්දු යවන්නා වන රෂීඞ් ඛාන් කොන්දේ සැත්කමෙන් සුවය ලැබීම හේතුවෙන් තවමත් ක‍්‍රීඩා කළ නොහැක.

එම අඩුව පිරවීම සඳහා යොවුන් පා දඟ පන්දු යවන ක‍්‍රීඩක කයිස් අහමඞ් ඇතුළත් කර ඇත.

ශ‍්‍රී ලංකා  සංචිතය මෙසේ ය.

  • කුසල් මෙන්ඩිස් (නායක)
  • චරිත් අසලංක  (උප නායක)
  • කුසල් ජනිත් පෙරේරා
  • පැතුම් නිශ්ශංක
  • සධීර සමරවික‍්‍රම
  • ඇන්ජලෝ මැතිව්ස්
  • ජනිත් ලියනගේ
  • ෂෙවෝන් ඩැනියෙල්
  • සහන් ආරච්චිගේ
  • වනිඳු හසරංග
  • අකිල ධනංජය
  • ඩිල්ශාන් මධුසංඛ
  • මහීෂ් තීක්ෂණ
  • දුෂ්මන්ත චමීර
  • ප‍්‍රමෝද් මධුෂාන්
  • චාමික කරුණාරත්න
Share with your friends :