27 C
Colombo
16/05/2024

කන කොකා වැහුවා – ගෙදර අඹ අත්තේ…….

Share with your friends :

ආයිබෝං ආයිබෝං
ඕං ඉතිං අපි ආවා
හේමලතා
ඔය ගොල්ලන්ගෙ ගෙදර
එන්ඩ කියල උන්නට
කෝ තිබුනෑ ඉඩක්
වැඩ අල්ල පනල්ලේ
වපුරනවා මේ දවස්වල
මේ පළමු වංගිය වගෙයි මතක
ඉස්කෝලේ යන කාලේ
ආවා ගියාට පස්සෙ
අපි මෙහෙම හමුවෙන
එහෙම නේද හේමලතා
අතුරු කතා තවත් මොටද
බහිමුද අපි කෙලින්ම
ආපු කාරණේටම
තව සුනංගු වෙන්නෙ නැතුව
ඉන්තේරුවෙන්ම කියන්ඩ ඕනෙ
හේමලතා
හිතන්ඩ එපා අපේ එකා
ආතක්-පාතක් නැති එකෙක් කියල
රහසෙ එහෙම වැඩ කෙරෙන්ඩ,
ඔක්කොම පවුල් පන්සල් වෙලා
ගිය හන්දා
ලොක්කමල්ලිගෙ උන් හිටියට
මහගෙදර තනිවුණු ඒකා
මෙහෙ ආවා ගියා වෙන්න ඇති
ඇයි හොඳයි කියාගෙන
දැපෙනෙ වැටිල
උඹ ඒකිගේ ඇලුම් බැලුම්
පද පාද කස්තිරම් වලට
රටේ ලෝකෙ මේ දේවල්
කියන කෙරෙන විදියක්
තියෙනවනේ දන්නෙ නැද්ද
අනේ මන්ද හේමලතා
ඉහ නිකට පැහුනෙ ඉඩෝරෙටද
හත් හවුල් ද අපි දන්නෑ
බිම් පංගුව ගේත් එක්ක
නුඹේ එකීට ලියවෙන්ඩ ඕනෙ
කටයුත්තට වේලහනින්
ගලේ කෙටුවැයි ඒක
කියල හිතුවට කමක් නෑ
ඉතින් ඕන් මං යනවා
හේමලතා
බේත් හැලියක් ලිප උඩ
තකහනියෙ මම මේ ආවට
ගින්දර අඩුවෙන් තියන්න
පට්ටල් කලාට පොඩි එකීට
හොදටම හිදිලද දන්නෙත් නෑ
කසාය ටික
මම එනතුරු අපේ මිනිහ
බලාන ඇති බේත් බොන්න.
Wijayaratne Badullage

Share with your friends :