27 C
Colombo
16/05/2024

හොරකම් කළේ ඇයි මගෙ බිරිඳගේ රූපේ……

Share with your friends :

මුහුණු පොතේ යූ නලයේ කරක් ගසා
නරඹා වීඩියෝ ,කියවා ලිපිත් සොයා
කිරලා,අනලා ,කපලා ඈ වෙහෙස වෙලා
හැදුවා යමක් නම නම් අමතකයි තමා

පාට , හැඩය පිරිපුන් සිතුවමක් වගේ
රස කොහොමැදැයි කීමට කල් වැඩියි වගේ
දැන් දැන් ටිකක් ලැබුණෝතින් අගෙයි වගේ
මා ගැන ඇයට කිසි ගානක් නැතුව වගේ

කැරකෙයි කැමරාව ඇයගේ බෙල්ලේ
සෑදූ ආහාර ඇත දකුණත් අල්ලේ
ඇතිරිලි හා බඳුන් වමතෙහි එල්ලේ
මොකදෑ වෙන්නේ මං හිටියේ විමසිල්ලේ

කොටු කොටු රෙද්ද මත ගෝනියක් එලා
බඳුන් තබා ඒ මත සැදු කෑම තබා
තණ බිස්සේ ඒ මේ අත දිගා වෙලා
ඇය කැරකේය ඔරලෝසුව වගේ වෙලා

සුළු කෝණය , ඍජු කෝණය උගත් ඇය
කැමරාකෝණ සකසනයුරු සුහුරු ලෙස
දැක මගෙ සිත ආදරයෙන් පිරුණු සඳ
ඇසුවෙමි ළඟට ගොස්, එන්නද උදව්වට

එතනින් නොනැවතුණු ඇය විත් කුස්සියට
ගති බඳුනක් පිහියක් හැන්දක් අතට
යළිත් වරක් පෙර ඇටවුම වෙනස්කොට
මෙවර නැග්ගේ ඇය උස් වූ පුටුවකට

පුටුවෙන් වැටේදැයි භයකුත් සිතුණා
දෙදෙනාටම මං තේ දෙකකුත් හැදුවා
විස්කෝතුත් ගෙන මාගේ අල්ල පුරා
මමත් කකා ඇයටත් කැව්වෙමිය පොඟා

ගත්තු රූප ඔක්කොම පරිඝනෙකෙ ඔබා
එළිය අඳුරු සමබර කොට කපා කොටා
වෘත්තීය තත්වෙකින් ඒ රුපය සරසා
සත්තකින්ම ඇය යස වැඩක් කළා

මුහුණුපොතේ එක් තැනකට රිංගා
ඇගෙ පින්තූරෙ ඇය ජනගත කර හැරියා
ටුක් ටුක් සද්ද ජංගමයෙන් වැහි වැහැලා
ලද ප්‍රතිචාර ඇත ඇය ප්‍රමුදිත කරවා

එක රූපයක් ගන්නට වුණු මහන්සියක්
අස් කෙරුවා ඇය ආයෙත් පැයක් දෙකක්
රෑට උයලා දීලා මට රසට බතක්
නිදා ගත්තේ දීලාමයි හාද්දකුත්

පෙර දින ඇගේ සිත තුළ වූ සාමේ
මේ උදයේ සේදී ඇත ඇයි කරුමේ
ඇය වෙහෙසිලා ගත් ඒ සිත් කළු රූපේ
හොරකංකරලා දාලලු එකියක් ආයේ

පින්තූරයක් සොරකම් කළ නමුත් එයා
හැකියා ඔබේ සොරකම් කළෙ නැහැනෙ කියා
ඇයගේ ගෙල වටේ මාගේ අතක් යවා
දුකින් පිරුණු ඈගේ සිත අස්වැසුවා

පින්තූරයක් , කවියක් හෝ කතාවක්
කුමනාකාරයේ හෝ යම් කිසි කලාවක්
සොරකම්කරයි නම් නොමැතිව දයාවක්
මිනිස්කමට නැත ඒ වන් නිගාවක්
Sithumini Gamage

Share with your friends :