27 C
Colombo
19/05/2024

එකම සමාගමක්! රූපවාහිනිය සහ ගුවන්විදුලියට ලඟදීම වෙන දේ

Share with your friends :

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමේ සූදානමක් පිළිබඳ වාර්තා වෙනවා.

ඒ සඳහා වූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද මේ වන විට ලැබී ඇති බව යි පුවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව ලබාදුන් උපදෙස් අනුව බව ද සඳහන්.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පිළිබඳ රජය සිදු කර ඇති අධ්‍යනයක දී හෙළිදරව් වී ඇත්තේ මෙම ආයතන දෙකම අධික ණය බරින් මිරිකෙන බව යි.

රූපවාහිනී සංස්ථාව රුපියල් මිලියන 1,300ක් ද, ගුවන්විදුලි සංස්ථාව රුපියල් මිලියන 800ක් ද ණය ගෙවීමට ඇතැයි වැඩිදුරටත් වාර්තා වනවා.

එමෙන්ම මෙම ආයතන දෙකෙහි මාසික විදුලි බිල රුපියල් මිලියන 60ක් පමණ වන බව සඳහන්.

තව ද ආයතන දෙකෙහි වැටුප් සඳහා වැය වන මුදල රුපියල් මිලියන 100ක් පමණ වනවා.

ඒ සඳහා මුදල් උපයා ගැනීමට පවා මෙම ආයතනවලට අසීරු වී ඇති බව යි වාර්තා වන්නේ.

මෙම හේතු නිසා මෙලෙස අදාළ ආයතන දෙක ප්‍රතිව්‍යුහගත කොට ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කළ යුතු බව අමාත්‍ය මණ්ඩලය තීන්දු කර තිබෙනවා.

මෙම ආයතන දෙකෙහිම සමස්ත සේවක සංඛ්‍යාව 1,100ක් පමණ වන බව ද පැවසෙනවා.

Share with your friends :