27 C
Colombo
10/03/2026

මහ බැංකුව විදේශ ආයෝජකයන් දැනුවත් කරයි

Share with your friends :

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මෙම වසර අවසන් වන විට විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව මහ බැංකු නිලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම පිළිබඳ වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළ දැනුවත් කිරීමේදී විදේශීය ආයෝජකයන්ට පැවසූ බව චැනල් නිව්ස් ඒෂියා පුවත් සේවය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව දශක ගණනාවකින් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර ඒ හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකටද මුහුණ පා සිටී.

දෙසැම්බර් මැද භාගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ණය මුදල අනුමත කළ පසු ණය හිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව එහිදී ප්‍රකාශ කර ඇතැයි චැනල් නිව්ස් ඒෂියා පුවත් සේවය සඳහන් කළේය.

මෙම වසරේ අවසාන කාර්තුව සහ 2023 වසරේ දෙවන කාර්තුව අතර සියලුම ණය හිමියන් සමඟ ලබා ගත් ණය මුදල සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල අරමුණ බව දැනුවත් කිරීමට සහභාගී වූ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

මෙම අවස්ථාවට මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරු මෙන්ම මූල්‍ය හා නීති උපදේශකවරුන් වන ලැසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් නියෝජිතයෝද සහභාගි වූහ.

Share with your friends :