ජානකි මැඩම් බෙල්ල උස්ස උස්ස සැරින් සැරේ ගුරු පාර දිහා බැලුවා. උත්සවේට ආරාධිතයො හැටියට උදේ දහයට එනවයි කියපු ගම්මුලෑදෑනි මහත්තයයි පීඑච්අයි මහත්තයයි තවමත් නැහැ. දැන් දහයෙ කෑලිත් නැහැ. ඒත් එතුමන්ලා එයි කියන බලාපොරොත්තුව ජානකී මැඩම් ට තිබුනා.’ඔබතුමිය වැඩේ කරගෙන යන්න අපි අනිවාර්යයෙන්ම එනවා’ කියල තමයි දෙන්නම කිව්වෙ. ඒත් තවත් පැය භාගයක් විතර බලන් හිටිය ජානකී මැඩම් ඕන කුජීතුවක් කියල තමුන් සංවිධානය කරපු වැඩසටහන පටන් ගත්තා. කලින් ම දැනුම් දිලා තිබුන හන්දා අහල පහල අයයි ගමේ අයයි වේලාසනින්ම එතැනට ඇවිත් හිටියා. ඒ හැමෝම බලන් හිටියෙ උත්සවේ පටන් ගන්නකං. හා හා පුරා කියල තමුන් බොහොම සද්භාවයෙන් පටන් ගත්ත වැඩිහිටි උපස්ථායක ව්‍යාපාරයට දෑවුරුද්දක් පිරීම නිමිත්තෙන් බණක් කියලා හාමුදුරුවරු හත් අට නමකට දානයක් දීගන්ඩ ලැබුන එක ගැන ජානකී ට ලොකු සතුටක් තිබුනා. ඒකෙ අවසාන පියවර හැටියට තමයි මේ උත්සවේ සංවිධාන කෙරුවෙ. හැමෝටම හිනාවකින් සංග්‍රහ කරපු ජානකී මැඩම් තමුන්ගෙ කතාව පටන් ගත්තා.
මාස ගනනකින් වැසි නොවැටුනු මහ පොලොව ගල් කාෂ්ඨක වෙලා. ඊට දෙවෙනි නැහැ දූවිල්ල. රත් වෙච්ච මහ පොලොවෙන් නගින දූවිලි කුණාටුව ගස් ගල් අඹරවමින් හමා ගියා. නිවාසෙ දොරවල් ජනෙල් හොලවමින් ඒක හඹාගියේ හරියට යකෙක් ආවේශ වෙලා වගේ. හඹායන දූවිලි කුණාටුවෙන් නිවාසෙ දොරවල් ජනෙල් ටික බේරගන්න සිලම්මා කොච්චර උත්සහ කලත් වැඩක් උනේ නැහැ. බොහොම හිතුවක්කාර විදිහට ඒවා ඇරුනා වැහුනා. ඇදන් උන්න ඇඳිවත පවා ගැලවෙන තරමට හුලං පාර සැර හින්දා අන්තිමට උත්සහය අතඇරැපු සීලම්මා මිදුලෙ තිබුන ඇට්ටේරිය ගහට මුවා වෙලා ජානකි මැඩම්ගේ කථාවට කන්දුන්නා.
“ …..මම බොහොම පිරිසිදු චේතනාවෙන් තමයි මේ ව්‍යාපාරෙ පටන් ගත්තෙ. ඇත්තටම මම මගේම දෙමව්පියන් බලාගන්නවා වගේ තමයි මේ වයසක ඇත්තන්ව බලාගන්නෙ. කවලා පොවලා කැත කුණු අතගාලා ලෙඩට දුකටපිහිටවෙලා අපි කරන මේ කෙරුවාව ගෙවල් වල අයට කරන්න බැහැ. ඒ හැමෝම කාර්යය බහුලයි. මෙතැන ඉන්න කිසි කෙනෙක් කාත් කවුරුත් නැති අය නෙවෙයි. යමක් කමක් තියෙන පවුල්වල උදවිය. කොච්චර සල්ලි බාගෙ තිබුනත් අද ඉන්න දරුවන්ට තමුනගේ වයසක දෙමවිපියන් මේ වගේ බලාකියා ගන්න වෙලාවක් කලාවක් නැහැ…. අනික අද මෙතැන ඉන්න කිසි කෙනෙක් නිකම්ම නිකං වයසට ගිය උදවිය නෙවෙයි. රටට ජාතියට සමාජෙට සේවයක් කරපු අය. ලමයින්ගෙ ඇස් පාදපු ගිලනුන්ට ඇප උපස්ථාන කරපු රටේ ආරක්ෂාව වෙනුවෙන් ඇප කැප වෙලා වැඩ කරපු …..” ජානකි මැඩම් කතාව දිගටම කරගෙන ගියා.
හතර අතට අතු විහිදිලා තිබුන රූස්ස පිණිජම්බු ගහයට තමයි කට්ටිය වාඩිවෙලා හිටියෙ. දෙපේලියට වෙන්ඩ තිබුන පුටුවල ඉස්සරහම පේලියේ කෙලවරේ හිටියෙ සුමනම්මා.ඊලගට පේමම්මා. තුන්වෙනියට හිටියෙ ටීචම්මා. ටීචම්මා කිවිවට ඇත්ත නම සෝමාවති. ලමයින්ට උගන්නලා තිබුන හින්දා තමයි ටීචම්මා කියලා කිව්වෙ. ටීචම්මා ගාවම තමයි සුධම්මා ලමාතැනී හිටියෙ. නුවර පැත්තෙ කාන්තා රත්නයක් වෙච්ච සුධම්මා කිසි කෙනෙක් එක්ක කතා බහක් නැහැ. කිසි කෙනෙක්ගේ මූණ බලන් නෑ. තමුන්ගේ පාඩුවේ ඔහෙ බුම්ම ගත්ත ගමන් තමයි උන්දැ හිටියෙ. ඒ හින්දා තමයි ලමාතැනි කියල නම වැටුනෙ. දෙවෙනි පේලියෙ පටන් ගත්තෙ කඩේ සීයගෙන්. මුදලාලි කෙනෙක් වෙච්ච සීයා වැටිලා ඔත්පල උනා ට පස්සෙ තමයි දරුවො උන්දැව මෙතෙන්ට ගෙනත් භාර දීලා තියෙන්නෙ. අවුරුදු අසූවක් විතර වුන සීයා කඩේ කර කර හිටපු හින්දා කඩේ සීයා වුනා. යුද්ධෙදි ආබාධිත වෙච්ච මේජර් සර් ඊලගට. හොඳ සද්ධන්ත ඇඟක් තිබුන මේජර් සර් අතක් උස්ස උස්ස කිව්වෙ යුද්ධෙට ගිය තමුන් වෙඩි වැදිලා අබාධිත වෙච්ච කතාවක්. පැත්තක් පනනැති ව ගොලු බාසාවෙන් කියපු ඒ කතාවඅහල හැමෝගෙම ඇස් වලට කදුලු පිරෙන හැටි මේජර් සර් දැක්කා.
මේජර් සර්ගෙ කතාවට උඩ ගෙඩි දුන්නෙ ලඟම වාඩිවෙලා හිටිය ගොත ලොක්කා. අවුරුදු හැත්තෑවක් විතර වුන ලොක්කට හැමෝම හුරතලේට වගේ නම අඞගැහැව්වෙ ලොක්කයියා කියලා .කාටත් ප්‍රිය මනාම කාගෙත් හිතදිනාගෙන හිටිය ලොක්කයියා ඉස්සරහට ආපු තමුන්ගෙ දත් වහල්ල පෙන්න පෙන්න ඇවිත් හිටිය හැමෝම එක්ක හිනාවුනා.මේ හැමෝටම තමුන්ට අමතන්න පහසු විදිහට නම් පටබැන්දෙ ජානකි මැඩම්.ජානකි මැඩම්ගෙ කතාව නැගලා යන අතරේ සීලම්මා ඇවිත් හිටිය අයට කිරිබතුයි ලුණු මිරිසුයි ඇල්ලුවා. කට්ටිය බොහොම සන්තෝෂෙන් ඒවා භුක්ති වින්දා.නිවාසෙ ඉවුම් පිහුම් කටයුතු සේරම කලේ සීලම්මා. ඒ හින්දා මේ වගේ අමතර වැඩත් උන්දැටම පවරන්න ජානකි මැඩම් අමතක කලේ නැහැ. නිවාසෙ වැසිකිලි කැසිකිලි ශුද්ධ පවිත්‍ර කරන්න අතුපතු ගාන්න ඇවිත් හිටිය ගැටිස්සි එන හැමෝටම ප්ලාස්ටික් කෝප්ප වලට පුරෝ පුරෝ තේ ඇල්ලුවා.
ඒ අවුඅස්සෙ ගුරු පාර දිගේ හෙමින් හෙමින් ගාට ගාට ආපු රතු පාට අලුත්ම අලුත් හයුන්ඩායි කාර්එක නිවාසෙ අසල තිබුන බුදු මැදුර ගාව නැවත්තුව. ජානකි මැඩම් එකත් එකටම හිතුවෙ ඒ පීඑච්අයි මහත්තයයි ගම්මුලාදෑනි මහත්තයයි වෙන්ඩ ඇති කියලා. බැලින්නම් ජැන්ඩියට ඇඳලා කාර් එකෙන් බැස්සේ ඩයස් මහත්තයා. ජානකීට සන්තෝෂෙ බැරුවා. හරියටම මීට දෑවුරුද්දකට කලියෙන් ටීචම්මව තමුන් ට ගෙනත් භාර දීලා රට රාජ්ජෙ ගිය ඩයස් මහත්තයා එක පාරමට පාතුර්භුත වුනාම කාටද සන්තෝෂ නැත්තෙ. අඩියට දෙකට ඩයස් මහත්තයා ලඟට ගිය ජානකි මැඩම් බොහොම ගරු සරු ඇතිව ඩයස් මහත්තයව තමුන්ගෙ පුංචි උත්සවේට කැඳවගෙන ආවා. ඒත් එක්කම එතැනට දුවගෙන ආපු සීලම්මා කිරිබත් පිඟාන දික් කලා. ඉන්න හැමෝගෙම ඇස් තමුන් දෙසට යොමුවෙලා තියෙන බව ඩයස් මහත්තයට තේරුන හින්දද කොහෙද ඩයස් මහත්තයා බොහොම කාරුණිකව කිරිබත් කෑම ප්‍රතික්ෂේප කරලා ටීච්ම්මා අසලට පියවර මැන්නා. ටීචම්මා ඇඳන් හිටියෙ අත්කොට බාචු ගවුමක්. හමාගෙන එන හුලං පාරට ඒක සැරෙන් සැරේ උරහිස් දෙකෙන් පහලට වැටෙනවා. දෙතුන් පාරක් ඒක එකලස් කරන්න උත්සහ කල ජානකි මැඩම් වැඩේ අත්හැරලා දැම්මෙ ඊට වඩා ලොකු රාජකාරී ඒ වෙලාවෙ එයාට තිබුන හන්දා. එත් ඩයස් මහත්තයා ඉස්සරහ එයාගෙ මව් එහෙම තියෙන එක හරි නැති බව කල්පනා කල ජානකි මැඩම් ටක් ගාලා ටීචම්මා ගාවට පැනලා ගවුමේ දෙකොන එකට අල්ලලා පිටිපස්සෙන් ආයා කට්ටක් ගැහැව්වා.
“ ඉතිං ඩයස් මහත්තයා කොහොමද…? කවද්ද ලංකාවට ආවේ….?″කියලා ජානකී බොහොම ලෙන්ගතුව ඇහැව්වා.
එත් ඩයස් මහත්තයා ඒකට උත්තර නොදී තමුන්ගෙ මව් දිහා අනිමිස ලෝචනයෙන් බලා හිටියා.මෑණියන්ගෙ කෙට්ටු කෙසග වැහැරුනු ශරීර කූඩුව දිහා බලා හිටපු ඩයස් මහත්තයට අනිච්චේ දුක්ඛෙ සංසාරේ කියල හිතුනා. හොද රූපකායකුත් පරිපූර්ණ දේහයකුත් තිබුන තමුන්ගෙ මෑණියන් හරියට හුඹහෙන් ඇදලා ගත්ත නයෙක් ගානයි. හකු පෑදිලා ඇඟ වැහැරිලා අත පය දර ඉපල් ගානට හීන් වෙලා. ප්ලාස්ටික් පුටු කබලක වක ගැහිලා උන්නු මෑණියන්දෑ තමුන් මීට දෑවුරුද්දකට කලියෙන් දුටු මෑණියන්මද කියලා ඩයස් මහත්තයා කල්පනා කලා. ඒත් එක්කම දෑස් අගට කදුලු බිඳුවක් මෝදු වෙනවා වගේ දැනුනා. කඳුලු බොඳ වුන දෑස් අතරි ඩයස් මහත්තයාගෙ හිත මොහොතකින් අතීතෙට දිව ගියා.
සෝමවතී ඉස්කෝලෙ හාමිනේ කිව්වම සුලුපටු චරිතයක්ද. දැන උගත් කමද අනුන්ට දක්වන ආදරය දයාව කරුණාවද සමාජ සේවෙද දනට පිනට ලැදිකමද මේ හැම එකකම සංකලනයක් වුන කාන්තා රත්නයක් නොවැ තමුන්ගේ මෑණීයො කියලා දවසක් පන්සලේ ලොකු හාමුදුරුවෝ කිව්ව හැටි ඩයස් මහත්තයට මතක්වුනා. ඊට අමතරව ලමයි කී දාහකගෙ ඇස් පාදපු ගුරුවරියක්ද… සෝමවති ඉස්කෝලෙ හාමිනේ කිව්වම අහල ගං හතම දන්නවා බොහොම ගුණ යහපත් බොහොම දක්ෂ තමුන්ගේ ලමයින්ට අකුරු සෑත්තරේ කියලා දෙන ගුරු මෑණිකෙනෙක් කියලා. එහෙව් මෑණියන්ට අද අත්වෙලා තියෙන ඉරණම දැක්කොත් ඒ මිනිස්සුන්ගෙ පපු කැනැතිත් තමුන්ගෙ වගේම හෝස් ගාලා පත්තුවෙයි කියලා ඩයස් මහත්තයට හිතුනා. තමුන්ව හදලා වඩලා උගන්නලා තමුන් ලොකු මහත්තැන් කෙනෙක් කරපු තමුන්ගෙමව්තුමියට මේ වගේ කලදසාවක් යයි කියලා ඩයස් මහත්තයා හීනෙකීන්වත් හිතුවෙ නැහැ. ඒත් කරුම චක්කරේ ඊට ලොකුයි නොවැ.
“ මහ උන්දෑ බීව්වයි රේස් දැම්මයි මිසක්ක උඹලා ගැන හොයලා බැලුවෙ නැහැ නොවැ පුතේ. අන්තිමට කාලකාණ්නියෙක් වගේ මැරිලා ගියා. මහ උන්දැත් නැතිව ගුරු රස්සාවත් කරගෙන දහ දුක් විඳලා නොවැ බොලෑ අම්මා උඹව ලොකු මහත් කලේ. ඒක හින්දා මයෙ පුතේ ඔක්කෝටම කලියෙන් අම්ම ට සලකල හිටපං. රස්සාවට ගියාට කමක් නෑ ඔක්කොටමඉස්සෙල්ලා ගෑනු එහෙම පටලවගන්නව නෙමේ ඕං තේරුනාද….? “කියලා තමුන් දණ ගහලා වැඳපු වෙලාවෙ ලොකු ලොකු අම්මා කිව්වා.අන්තිමේ මයෙ පුතා ට තුනුරුවන්ගෙම සරණයි. පිහිටයි . ආරක්ෂාවයි. කියලා තමුන්ගෙ හිස අතගාලා ආශීර්වාද කලා.
තමුන්ට කැලෑ මහත්තෙක් හැටියට ආණ්ඩුවෙ රස්සාව ලැබිලා ඒ ගැන කියන්න නමෝවිත්තියෙන්ඩයස් මහත්තයා ගියෙ බැලුම්මහර ලොකු ලොකු අම්මලගෙ ගෙදෙට්ට.ඒ වෙලාවෙ ලොකු ලොකු අම්මා දුන්න අවවාද අනුසාසනා උපදෙස් ජීවිතේට අමතක කරන් නෑ කියල තමයි ඩයස් මහත්තයාහිතාගත්තෙ. එත් රස්සාවට ගිහින් අවුරුද්දක්වත් යන්න කලියෙන් නොවැ නෙරංජි මුණගැහුනෙ. ආණ්ඩුවෙ කන්තෝරුවක ටයිප් ගගහා හිටපු නෙරංජලා ගෙ ඇල්මට බැල්මට කතාවට හිනාවට දන්නෙම නැතිව තමුන්ගෙ හිත ගිය එක තමයි සේරටම මුල.ඒත් ඉතිං පතාගෙන ආපු හැටි වෙන්ඩ ඇති කියලා බොහොම ඉක්මණට නෙරංජිගෙත් තමුන්ගෙත් විවාහෙ සිද්ධ වුනා. එහෙම වුනයි කියලා තමුන් අම්මට අඩුවක් පාඩුවක් කලේ නෑ නේද කියලා ඩයස් මහත්තය තමුන්ගෙම හිතත් එක්ක තර්ක කලා.
“ මොනවද ඩයස් මහත්තයො කල්පනා කරන්නෙ. තේ උගුරක්වත් බොන් නැද්ද…? ” රවුමක් කැරකිලා ආපු ජානකි මැඩම් ආයෙත් වතාවක් ඇහැව්වා. ඒත් ඩයස් මහත්තයා ඔලුව දෙපැත්තට හොලෝලා ඒක ප්‍රතික්ෂේප කලා.
“ එහෙනං කූල් මොනවා හරි….?”
අන්තිමේ ජානකි මැඩම් ගෙ බලවත් පෙරැත්තය නිසාම සීලම්මමා ගෙනත් අල්ලපු ඔරෙන්ජ් ජූස් වීදුරුව අතට ගත්ත ඩයස් මහත්තයා බෙහොම අපුලෙන් වගේ ඒක යම්තම් තොලගෑවා.
බැඳලා හරියටම අවුරුද්දයි ගතවුනේ ඒත් එක්කම තමයි ආණ්ඩුවෙ ලොකු විභාගයක් පාස්වෙලා නෙරංජිට ඩයස් මහත්තය එක්ක දෑඅවුරුද්දකට ඒරොප්පෙ යන්න අවස්ථාවක් ලැබුනෙ. තමුන් නෙරංජිත් එක්ක ඒරොප්පෙ ගියොත් අම්මට යන කල දසාව ගැන ඩයස් මහත්තයට හිතාගන්නවත් බැරිවුනා. ගෑනිට යන දීපංකරේක තනියම යන්න කියලා තමුන් තමුන්ගෙ අහිංසක අම්මවත් බලාගෙන මෙන්න මෙහෙට්ට වෙලා හිටපං කියල තමයි ඩයස් මහත්තයගෙ හිත නිතරම කිව්වෙ. ඒත් ඒ අදහස දැනගත්ත නෙරංජි ඒකට විරුද්ධ වුනේ හැපින්නක් වගේ. මහ හෑල්ලක් කියවපු නෙරංජි “..මං වගේ තරුණගෑනියෙක් ව තනියෙන් රට යවන්නඔයාගෙ මොලේ හොද නැද්ද.. ? “කියලා ඩයස් මහත්තයගෙන් ඇහැව්වෙ පුපුරු ගහමින්.ඒ කතාවෙත් ඇත්තක් තියෙන බව තේරුම් ගත්ත ඩයස් මහත්තයට උනේ ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී වගේ තත්වයක්. දවස් ගානක් හිස ගිනි ගත්තෙකු සේ කල්පනා කරපු ඩයස් මහත්තයා අන්තිමේ තීරණයක් ගත්ත. ප්‍රථීපලේ උනේ සෝමාවති ඉස්කෝලෙ හාමිනේට මාසිකව ලොකු ගානක් ගෙවන පොරොන්දුව පිට ජානකී ගේ මහලු නිවාසෙ ට ඇතුලත් කරපු එක. තමුන්ගෙ අම්මව මහලු නිවාසෙක ගාල් කරලා පුතන්ඩිය ගෑනිත් එක රට යනෝ කියලා බට කැලේ ට ගිනි ඇවිලුනේ ඊටත් පස්සෙ. “උන්ට ඔච්චරටම රුදාවනං උන්දැව අරං ගිහිං බලාගන්න එකනෙ ඇත්තෙ”කියල කියපු නෙරංජි ඩයස් මහත්තයා ගෙ මුලු සනුහරේටම දෙස්ස කැපුවා.
“ අනේ මයෙ බුදු පුතේ උඹ ගියොත් මං තනිවෙනවා …” කියලා සෝමාවති ඉස්කෝලෙ හාමිනේ වැලහින්නක් වගේ ඇඞුවෙ නිවාසෙට භාරදෙන දවසෙ. අහල පහලට පෙනෙන හින්දා එදා රාත්තිරියෙ තමයිඩයස් මහත්තයා සෝමාවති ඉස්කෝලෙ හාමිනේව නිවාසෙට අරං ආවේ. ගෙදරින් එක අඩියක් නොහොල්ලපු සෝමාවති ඉස්කෝලෙ හාමිනේ මරන්ඩ ගෙනියන හරකෙක් වගේ එදා විලාප දුන්නා. ඒත් ඩයස් මහත්යාගෙවත් නෙරංජිගෙවත් හිත උනු වුනේ නැහැ.හිත දැඩි කරගෙන ඩයස් මහත්තයයි නෙරංජියි හයර් කරපු වාහනේ රියදුරු උන්නැහැත් එක එක්කාසු වෙලා වදෙන් පොරෙන් උන්දැව වාහනේ ට පටවනකොට උන්දැ බූවල්ලෙක් වගේ ඩයස් මහත්තයගේ ඇගේ එල්ලුන හැටි ඩයස් මහත්තයට මැවිලා පෙනුනා.
“ මහත්තයාව තවම අඳුනගත්තෙ නැහැ මයේ හිතේ…” පිටිපස්සෙන් ආපු සීලම්මා කිවිවා. අන්තයටම ගිලී ගිය දුබල ඇස් බෝල දෙක කරකවලා ටීචම්මා තමුන් ඉදිරිපිට හිටගෙන ඉන්න ලොකු මහත්තැන් දිහා ආයෙත් බැලුවා. ඒත් කව්ද කියලා නිච්චියක් නිනව්වක් නැහැ…ඒ හින්ද අහක බලා ගත්තා. එතකොටම තමයි ජානකි මැඩම් පිරිසත් එක්ක එතනට පාතුර්භුත වුනේ. මෑණියන්ගෙ දෙවුරෙන් හොලෝපු ජානකි මැඩම් “මේ කව්ද..? ටීචම්මට අඳුනන්න පුලුවන්ද ..? කියල ඇහැව්වා.
ම් හ්
ඒත් අඳුනගත්තෙ නැහැ. ජානකි මැඩම් ආයෙත් දෙතුන් විඩක් අහනකොට අහනකොට කටකොනකින් මලානික ලෙස හිනාවුන ටීච්ම්මා “ තාත්තා ” කියල ඩයස් මහත්තයගේ මුහුණ බලාගෙන තමුන්ගෙ මිය පරලොව ගිය තාත්තව මතක්කලා. ඒක අහපු ඩයස් මහත්තයට පිරිස ඉදිරියෙ පොලොව පලන් යන්ඩ තරම් ලැජ්ජාවකුයි දුකකුයි ඇතිවුනා.
“ කල්පනාව හොඳටම වෙනස් වෙලා මයෙ හිතේ ”
වැඩිහිටියන්ට තෑගි බෙදාදෙන්න පරක්කු වෙලා ආපු ගම්මුලාදෑනි මහත්තය එහෙම කිවවෙ එතනම හිටපු පීඑච්අයි මහත්තයට. උන්නැහෙත් ඔහේ ඔලුව වැනුවා.අන්තිමේ කිසිම කතාබහක් නැතිව ආපහු හැරිලා ආයෙමත් වාහනේට ගොඩවුන ඩයස් මහත්තයා ‘ දඩෝං ‘ ගාලා වාහනේ දොර වැහැව්වෙ හිතට ආපු ආවේගෙට.
මෙච්චර වෙලාවක් නිවාසෙ අවට දෙවනත් කරපු දූවිලි යකා ඒ සැරේ නුවර පාර දිගේ වේගෙන් ඇදිල යන ඩයස් මහත්තයගේ වාහනේ පස්සෙ පන්නන්න ගත්තා. ඒ අකුසල කර්මයක් පිටිපස්සෙ පන්නන කර්ම චක්කරේ වගේඋඹට පුතෝ මගෙන් නං ගැලවිල්ලක් නෑ කියන්නාක් වගේ …
සුනිල් සේනාරත්න