අභූත චෝදනා වලට ලක් කර පුද්ගලික අංශයේ සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීම සඳහා සේවායෝජකයන් විසින් භාවිත කරන අණපනත් වෙනස් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීමට නියමිතය. මෙහිදී පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විනය විරෝධී හෝ විෂමාචාර ක්‍රියා මත වැඩ තහනම් කරනු ලැබූ අවස්ථාවක විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා මාස හයක් ඇතුළත අවසන් තීන්දුව ලබාදිය යුතු බවට නියෝග පැනවීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇත
එසේම මූල්‍ය වංචාවක් නොවන අවස්ථාවක අඩ වැටුප් ගෙවීමට සේවා යෝජකයා නීතියෙන් බැඳෙන පරිදි ඊට නව සංශෝධන ඇතුළත් කිරීමටද නියමිතව තිබේ.
විවිධ චෝදනාවලට ලක්වන පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා තීන්දුවක් ලබාදිය යුතු කාලසීමාවක් පනතේ දක්වා නොමැතිවීම හේතුවෙන් ඇතැම් සේවා යෝජකයන් සේවකයන් වැඩ තහනමට ලක්කර වැටුප් ගෙවීම අත්හිටුවා දීර්ඝ කාලයක් විනය නියෝග ලබා නොදෙති. එහෙයින් සේවකයෝ විවිධ ආර්ථික හා සමාජයීය දුෂ්කරතාවලට මුහුණපා සිටිති. මෙවැනි අවස්ථා වැලැක්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා ඇතත් ඒවා නීති බවට පරිවර්තනය නොවීම නිසා දහස් ගණන් සේවක සේවිකාවෝ දිගින් දිගටම අසරණවීම වැලැක්වීම සඳහා රජය මෙම තීරණය ගෙන තිබේ.
.
