කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දීය රජය හා ජපාන රජය විසින් නම් කරනු ලබන පාර්ශවයන් අතර වරාය අධිකාරිය එක්ව, රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
එසේම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබාගෙන සංවර්ධනය කිරීමටද රජය තීරණය කර ඇත. මේ සඳහා වරාය සහ නාවික ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත.
නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් ඒ බව පවසා තිබේ.
ශ්‍රී ලංකා අදාළ ගිවිසුමට අදාළ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නායකත්ව මට්ටමින් ද මීට පෙර ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයිද , විදෙස් ආයෝජකයන් සමඟ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මීට මාස තුනකට පෙර තීන්දුවක් ගත් බව ද සියලු පාර්ශව දැනට ඇති ගිවිසුමට අදාළ අවබෝධතා සහ වගකීම්වලට බැඳී සිටින බව ද එම ප්‍රකාශකයා පවසා තිබේ.
