කොරෝනා ආසාදනය වීමෙන් පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපණ වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක්මෝ යන්ත්‍රයට සවිකර විශේෂ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා මිය ගොස් තිබේ.
රාගම රෝහලේ සේවය කරමින් සිටි 32 හැවිරිදි එම වෛද්‍යවරයා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබා චීනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ අයෙකි. ඔහු රාගම රෝහලේ සිට කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබූ අතර දියවැඩියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටි ඔහුට කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් පෙනහළු මගින් සිදුකරන වායු හුවමාරුවේ ගැටලුවක් ඇති වී තිබිණි.
ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකරන ලද්දේ එවැනි රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන එක්මෝ යන්ත්‍රයක් ඇති එකම රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල බැවිනි.මෙම වෛද්‍යවරයාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙක් ද මේ වනවිට කොරෝනා ආසාදනය වී ප්‍රතිකර ලබමින් සිටිති.
මෙම වෛද්‍යවරයා ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි අතර ඔහුගේ පියා ද වෛද්‍යවරයෙකි.කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වෛද්‍යවරයෙකු මියගිය මුල්ම අවස්ථාව මෙය වේ.
