දේශගුණික විපර්යාස හේතුවෙන් ක්ෂීරපායීන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටින බැවින් ඕස්ට්‍රේලියානු සංරක්ෂකයින් ප්ලැටිපස් සත්වයින් සඳහා ලෝකයේ පළමු ප්ලැටිපස් අභයභූමිය ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ එම සත්වයින් සඳහා රැකවරණය, අභිජනනය හා පුනරුත්ථාපනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්. ඕස්ට්‍රේලියාවේ ටාරොන්ගා සංරක්ෂණ සංගමය සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය කියා සිටියේ 2022 වන විට මෙහි කටයුතු නිම කළ හැකි බවයි. මෙමගින් ප්ලැටිපස් සත්වයින් 65කට පමණ වාසස්ථාන හිමිවනවා. පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර් මිලියන 12.6ක වනාන්තර භූමි ප්‍රමාණයක් විනාශයට පත්වීමත් සමඟ ප්ලැටිපස් වඳ වී යාමේ අවදානමක පවතින බව එරට වාර්තා සඳහන් කරනවා.
