27 C
Colombo
10/05/2026

බොලිවුඩ් නළු දිලිප් කුමාර් සමුගනී

Share with your friends :

සම්මානනීය බොලිවුඩ් නළු දිලිප් කුමාර් අද (7) උදෑසන මෙලොවින් සමුගත්තේය. ඔහුගේ වයස 98 කි.

දිලිප් කුමාර් මියයනවිට මුම්බායි හින්දුජා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. දිලිප් කුමාර් රෝහල්ගත කෙරුණේ මීට සතියකට පමණ පෙරය. ඒ, අධි රුධිර පීඩනය සහ ස්වසන අපහසුතා හේතුවෙනි. ඔහුගේ රුධිරයේ හිමෝග්ලොබින් අඩු වී ගිය බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිගින් දිගටම පිරිහුණු බවත් ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරු පවසති.

දිලිප් කුමාර්ගේ අභාවය සැලැවීමත් සමඟ බොලිවුඩ් නළි නිළියෝ රැසක් ට්විටර් පණිවුඩ හරහා සොව පළ කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවා ශෝඛ පණිවුඩයක් නිකුත් කර තිබේ. බොලිවුඩයේ සැබෑ වීරයා දිලිප් කුමාර් යැයි ෂාරුක් ඛාන් සහ ආක්ෂේ කුමාර් පවසා තිබේ.

දිලිප් කුමාර්, හින්දි සිනමා නළුවකු පමණක් නොව, චිත්‍රපට නිෂ්පාදකවරයකු ද විය. 2000 වසරේ සිට 2006 තෙක් කාලයේ ඉන්දීය රාජ්‍ය සභාව ද නියෝජනය කළේය. ඒ මහාරාෂ්ට්‍ර ඡන්ද කොට්ඨාශයෙනි.

පළමු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ දිලිප් කුමාර්ය. ඉන්පසු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලකදී වැඩිම හොඳම නළුවාට හිමි සම්මානය දිනා ඇත්තේ ද දිලිප් කුමාර් වීම විශේෂත්වයකි.

දිලිප් කුමාර් උපන්නේ 1922 දෙසැම්බර් 11 වැනිදාය. ඒ, ඉන්දියාව බ්‍රිතාන්‍ය යටක් විජිතයක් ලෙස පැවැති අවදියේදීය. 1944 සිට 1998 තෙක් කාලයේ දිලිප් කුමාර් හින්දි සිනමාවට සම්බන්ධ විය.

දිලිප් කුමාර් නිළි මධුබාලා සමඟ දීර්ග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ නමුත් ඇය සමඟ විවාහ නොවීය.

ජනප්‍රිය බොලිවුඩ් නිළි සයිරා බානූ දිලිප් කුමාර්ගේ දෙවැනි බිරිඳය.

ඔවුන් දෙදෙනා විවාහ වූයේ 1966 වසරේදීය. ඉන්පසු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායිහි උප නගරයක් වන බන්ඩ්‍රා හි පදිංචි විය. 1991 වසරේ පද්ම භූෂන්, 2015 දී පද්ම විභූෂණ සම්මානවලින් ද දිලිප් කුමාර් පිදුම් ලැබුවේය.

දිලිප් කුමාර් මුස්ලිම් ජාතිකයෙකි. ඔහු උපන්නේ මොහොමද් යූසොෆ් ඛාන් යන නමිනි. හින්දු මුස්ලිම් භේදය නිසා ඔහු රංගනයට පිවිසීම මෙන්ම හින්දු රසික රසිකාවියන්ගේ ආකර්ශණයත් ආදරයත් දිනා ගැනීම සිදුවූයේ දිලිප් කුමාර් යන නමිනි‍.
දිලිප් කුමාර් රංගනයට පිවිසියේ 1944 දී ‘ජවාර් භාතා’ චිත්‍රපටයෙනි. එය දශක 6 ක සිනමා දිවියේ ආරම්භය සනිටුහන් කළේය. චිත්‍රපට 65 කට වැඩි සංඛාවනක දිලිප් කුමාර් රංගනයේ යෙදී ඇත.

1942 වසරේ තිරගත වුණු ‘අන්දාස්’, 1952 වසරේ ‘ආන්’, 1952 වසරේ ‘ඩාග්’, 1955 වසරේ ‘දේව්දාස්’, 1955 වසරේ ‘අසාද්’, 1960 වසරේ ‘මෝගල් ඊ අසාම්’, 1961 වසරේ ‘ගංගා ජමුනා’ සහ 1967 වසරේ ‘රාම් ඕ ෂයම්’ ඒ අතරින් කැපී පෙනෙයි.

1976 දී දිලිප් කුමාර් සිනමා රංගනයෙන් වසර පහක විවේකයක් ලබා ගත් අතර, ක්‍රාන්ති (1981) චිත්‍රපටයේ චරිත චරිතයක් සමඟ නැවත පැමිණ, ශක්ති (1982), මාෂාල් (1984), කර්මා (1986) වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කළේය. ඔහුගේ අවසන් චිත්‍රපටය වූයේ කිලා (1998) ය.

Share with your friends :