27 C
Colombo
05/05/2026

භයානක ලැම්බ්ඩා කොවිඩ් වයිරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

Share with your friends :

‘කොවිඩ් 19’ ඩෙල්ටා විකෘති ප්‍රභේදයටත් වඩා බිහිසුණු, එන්නත්වලින් මට්ටු කළ නොහැකි ‘ලැම්බ්ඩා’ විකෘති ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල් 30 කට ව්‍යාප්තවී ඇති බවත්, ඒ ගැන විමසිල්ලෙන් පසුවන බවත්, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

‘ලැම්බ්ඩා’ යනු ලතින් ඇමෙරිකාවෙන් මතුවුණු ‘කොවිඩ් 19’ විකෘති ප්‍රභේදයයි. මෙහි ආරම්භය පේරු රාජ්‍යයෙනි. ‘ලැම්බාඩා’ විකෘතිය සම්බන්ධයෙන් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී ඇත.

මේ වනවිටත් ‘ලැම්බ්ඩා’ විකෘතිය සම්බන්ධයෙන් දත්ත සහ තොරතුරු එක් රැස් කර ගනිමින් පවතින බවත් , ‘ලැම්බ්ඩා’ හෝ ‘ඩෙල්ටා’ විකෘතිවලින් පමණක් නොව සෙසු විකෘතිවලින් ද ආරක්ෂා වීමට මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම අනිවාර්යය යැයි ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අවධාරණය කර තිබේ.
මේ අතර ලොව රටවල් සියයකට වඩා ව්‍යාප්තවී ඇති ‘කොවිඩ් 19’ ඩෙල්ටා විකෘතියට වඩා ‘ලැම්බ්ඩා’ විකෘතිය බිහිසුණු බවත්, එන්නත්වලින් පවා එය මට්ටු කළ නොහැකි බවත් මැලේසියානු සෞඛ්‍ය අමාත්‍ය ඇඩ්හම් බාබා අනතුරු අඟවයි.

මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අනතුරු ඇඟවූයේ සිය ට්විටර් ගිණුම ඔස්සේය. ඒ, ‘ලැම්බ්ඩා’ විකෘතිය සම්බන්ධයෙන් මැලේසියානු වෛද්‍ය පර්යේෂකයන් පුළුල් ලෙස අධ්‍යයනය කර ඇති බැවිනි.

මේ වනවිට රටවල් 30 කට වැඩි ගණනකින් ‘ලැම්ඩා’ විකෘතිය හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

බිහිසුණු මෙන්ම විමසිල්ලෙන් සිටිය යුතු වයිරස විකෘතියක් යැයි හඳුන්වා දෙමින්, ‘ලැම්බ්ඩා’ විකෘතිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ අවධානය යොමු වූයේ පසුගිය ජූනි 14 වැනිදාය.

‘සී.37’ හෙවත් ‘ලැම්බ්ඩා’ වයිරස විකෘතිය පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ 2020 ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයෙනි. ‘පේරු’ යනු තවමත් ‘කොවිඩ් 19’ වසංගතයෙන් බිහිසුණු ලෙස බැටකන රාජ්‍යයකි.

2020 දෙසැම්බරයේ සිට මෙම 2021 අප්‍රේල් තෙක් කාලයේ හඳුනා ගැණුනු නව කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි දෙනකුට ආසාදනය වී ඇත්තේ ‘ලැම්බ්ඩා’ විකෘති වයිරස ප්‍රභේදයයි.

පසුගිය ජූනි මාසය වනවිට ලතින් ඇමෙරිකා රටවල් සියල්ලටම ‘ලැම්බ්ඩා’ විකෘතිය පැතිර ගියේය.

ආජන්ටිනාව, චිලී සහ එක්වදෝරය යන රටවල ‘කොවිඩ් 19’ වසංගතය උග්‍ර කිරීමට හේතුවූයේ ‘ලැම්බ්ඩා’ විකෘතියයි.

ඒ වනවිටත් වයිරසය සෙසු රටවලින් වාර්තාවීමට පටන්ගෙන තිබුණැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Share with your friends :