27 C
Colombo
11/05/2026

ඔප්පු කළොත් ඉල්ලා අස්වෙලා ගෙදර යනවා – මෛත්‍රීගෙන් මහින්දානන්දට අභියෝගයක් !

Share with your friends :

තමා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමේදී රජයට අයත් නිවාස 03 ක් එකතු කර සංවර්ධනය කරන ලද නිවසක් අත්පත් කරගත් බවට ඔප්පු කළහොත් මන්ත්‍රී ධුරයෙන්ද සමුගෙන ගෙදර යාමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

අළුත්ගමගේ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා නිවාස 03 ක් එකට එකතු කර සකස් කරන ලද නිවසක් ලබාගෙන ඇති බවයි. ඔහු සම්බන්ධයෙන් ඕනෑ තරම් කරුණු කීමට ඇති නමුත් තවදුරටත් කට වසාගෙන සිටින බවද ඇමතිවරයා සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන්නේ මෙම නිවාස තුනේ කතාව සම්පූර්ණයෙන් අසත්‍ය හා ජනතාව නොමග යවන ප්‍රකාශයක් වන බවයි. මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයාට පිළිතුරු නොදුන්නද සැබෑ තත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම තමාගේ වගකීමක් බවද ඔහු පවසනවා.

අදාල නිවාසය ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේදී එවකට අග්‍රාමාත්‍ය ඩී.බී. විජේතුංග මහතා විසින් භාවිතා කළ නිළ නිවාසය බවත්, විජේතුංග මහතා විසින් සිටුවන ලද පොල් ගස් පවා එහි තවමත් තිබෙන බවත් සිරිසේන මහතා පවසනවා.

ඉන්පසුව කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පදිංචිව සිටි එම නිවස තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව නිළ නිවාසය ලෙස භාවිතා කළ බවත්, විශ්‍රාම යාමේදී එම නිවස ලබා ගැනීම කිසිසේත්ම නීතිවිරෝධී ක්‍රියාවක් නොවන බවත් හිටපු ජනාධිපතිවරයා පවසනවා. මෙතෙක් බලයට පත් වූ සියලු ජනාධිපතිවරුන්ට මෙවැනි නිවාස ලබා දී ඇති බව පෙන්වා දෙන මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින්නේද ඔහු ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යද්දී රජය මගින් ලබාදුන් නිවසේ බවයි.

Share with your friends :