මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව සඳහා විසඳුම් සෙවීමට මැති ඇමතිවරුන් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර තිබේ.
මහින්ද අමරවීර, සී.බී රත්නායක, නාලක ගොඩහේවා, නිමල් ලන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නලීන් ප්‍රනාන්දු, ජයන්ත වීරසිංහ සහ වීරසුමන වීරසිංහ යන මැතිඇමතිවරුන් ඒ සඳහා පත්කර ඇති බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඔවුන්ට අමතරව එම විශේෂ කමිටුව සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ද පත්කර ඇත.
පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කර ඇති බව වාර්තා වෙයි.
මුතුරාජවෙල තෙත්බිම් සංරක්ෂණය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරිමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු ඒ පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වුණි.
ඒ අනුව නව ගැසට් පත්‍රයේ හඳුනාගෙන ඇති ක්ෂේත්‍රවල අන්තර්ගතයට යම් වෙනසක් යෝජනා කිරීමට පෙර ඒවා සමාලෝචනය කිරීම මෙම කමිටුවේ ප්‍රමුඛ කාර්යභාරය වෙයි.
