27 C
Colombo
13/05/2026

ජල බිල්පත් නොගෙවූ මැති ඇමතිවරුන්ට නඩු

Share with your friends :

රුපියල් කෝටියකට වැඩි වටිනා ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇතැයි පැවසෙන හිටපු සහ දැනට සිටින මැති ඇමැතිවරුන් 48 දෙනාට එරෙහිව නඩු පවරන ලෙස ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එම මණ්ඩලයේ නීති අංශයට උපදෙස්දී ඇත.

මේ අනුව එම නීති අංශය නඩු පැවරීම් සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.

එම හිඟ මුදල් අය කර ගැනීමට නීති අංශය හිටපු සහ දැනට සිටින මැතිඇමැතිවරුන්ට අවසාන නිවේදන මෙයට පෙර නිකුත් කළේය.

අවසාන නිවේදන යැවීමෙන් පසු මැති ඇමැතිවරුන් පස්දෙනෙකු පසුගිය දිනවල හිඟ මුදල් ගෙවා ඇතැයි වාර්තා වේ.

මෙසේ ජල බිල්පත් ගෙවා නැති හිටපු සහ දැනට සිටින මැති ඇමැතිවරුන් අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ අයද සිටිති.

මින් වැඩි පිරිසක් හිටපු මැති ඇමැතිවරුන් බව පැවසෙයි.

ඔවුන් මෙසේ ගෙවීම පැහැර හරිනු ලැබ ඇතැයි පැවසෙන්නේ සිය නිල නිවාස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් නිකුත් කෙරුණු බිල්පත්වල සඳහන් හිඟ මුදල්ය.

මේ මුදල් වහාම ගෙවන්නැයි සිහිකැදවීම් ගණනාවක් කර ඇතත් සාර්ථක ප්‍රතිචාර ලැබී නැති බවත් සිය නිල නිවාසවලදී පෞද්ගලිකව පරිහරණය කළ ජලය වෙනුවෙන් මුදල් ගෙවීමට හැකියාවක් නැති බව සඳහන් කරමින් ඔවුන් කටයුතු කළ සහ දැනට කරන අදාල අමාත්‍යාංශද එම හිඟ බිල්පත් ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බවත් ජල සම්පත් මණ්ඩලය පවසයි.

සාමාන්‍ය ජනතාවගෙන් හිඟ බිල්පත් අයකර ගැනීමට පෙර හිටපු සහ දැනට සිටින මැති ඇමතිවරුන්ගෙන් එම හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස වාසුදේව නානායක්කාර මහතා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී ඇත.

Share with your friends :