27 C
Colombo
19/05/2024

උරුමයෙන් ගෙන එන රෝගාබාධ සහ ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය

Share with your friends :

පුද්ගලයකු යම්කිසි ආයුෂ ප්‍රමාණයක් මෙලොවට රැගෙන එන අතර කුමන හෝ රෝග පීඩාවකටද ඒ සමඟම හිමිකම් ලබයි. රවි ග්‍රහයාගෙන් උෂ්ණත්වයද, සඳු ග්‍රහයාගෙන් සෙම හා පිත් ස්වභාවයද, කුජ ග්‍රහයාගෙන් ලේ සම්බන්ධ රෝග පීඩා මෙන්ම හදිසි අනතුරු තුවාල ද බුධ ග්‍රහයාගෙන් නහර හා ස්නායු සම්බන්ධ ශරීරයේ සියුම් කොටස්වල දෝෂයන්ද ගුරු ග්‍රහයාගෙන් දියවැඩියා, වකුගඩු, පිළිකා කල් පවතින තුවාලද සිකුරු ග්‍රහයාගෙන් ශීතාධික රෝගාබාධ මෙන්ම සප්ත ධාතු ශක්තිය හීන වීම හා මුත්‍රා දෝෂද, ශනි ග්‍රහයාගෙන් වාතාධික රෝග පීඩාද රාහු ග්‍රහයාගෙන් මානසික විකෘතිතා හා අනෙකුත් ග්‍රහ සංයෝග අනුව පීඩාකාරී තත්ත්වයේ වැඩිවීම්ද කේතු ග්‍රහයාගෙන් ලේ විෂ වීම හේතු කොට ගෙන සමේ රෝග හට ගැනීම හා පැපොල් සරම්ප වැනි බෝවන සමේ රෝගයන්ද වැළඳෙන බව ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයේ විස්තර කෙරේ.

නවීන විද්‍යා උපකරණ වලින් පුද්ගලයකුට වැළඳෙන රෝගී තත්ත්වයේ ස්වභාවය දැනගත හැකි වුවද, ඒවා මතුවන කාලවකවානු බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සොයා ගත නොහැකිය. එය වෛද්‍ය විද්‍යාවේ දුර්වලකමක් නොවේ. රෝග දැන ගත හැකි වීමේ යම් සීමාවක් බටහිර වෙදකමට තිබීම ඊට හේතු වේ.

පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රයෙහි නිපුණ ගමේ වෙද මහතා ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයේද පිහිට ලබා ගනිමින් රෝග හඳුනා ගන්නා අතර, ඊට සුදුසු පිළියම් ද යෙදීමෙන් රෝගියා සුවපත් කරයි.

කේන්දරයේ රෝගස්ථානය වන හයවැන්නේ සිටින ග්‍රහයාගේ ස්වභාවය (බල දුබලතා අනුව) රෝග පීඩාවල අඩු වැඩි බව වටහා ගත හැකිය.

එසේම එම ග්‍රහයාට රවි හෝ සඳු ග්‍රහයා ලබා දෙන සුබ අසුබ දෘෂ්ටි අනුව රෝගය පාරම්පරික ගණයේද නැතහොත් ආගන්තුක රෝගයක් දැයි තීරණය වේ. උදා :- හයවැන්නට රවි ග්‍රහයාගෙන් අසුබ දෘෂ්ටිය වැටුණේ නම් පරම්පරාගත රෝගයකි. එසේම සඳු ග්‍රහයාගේ අසුබ දෘෂ්ටියක් නම් ඉන්ද්‍රියයන්ගේ දුර්වලකම් හේතු කොටගෙන වැළඳෙන ආගන්තුක රෝගයක් ලෙසත් සැලකේ.

හයවැන්න අධිපති ග්‍රහයා ලග්න භාවයේ නම් හිසේ රෝග නැතහොත් පරම්පරාවෙන් (ජාන මගින්) ගෙන එන රෝග පීඩාවකි. රවි, කුජ හෝ රාහු වැනි ග්‍රහයකු හයවැන්නේ පිහිටීම ආහාර දිරවීමට පහසු වුවද, උෂ්ණාධික තත්ත්වය නිසා අතුරු රෝග මතුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. එහෙත් සෞඛ්‍ය ග්‍රහයන් වන සඳු හෝ සිකුරු ග්‍රහයකු හයවැන්නට අසුබ වන්නේ ආහාර දිරවීම අපහසු වන නිසාය. හයවැන්නේ කේතු ග්‍රහයා පිහිටීමද උදරාබාධවලට හේතුවන අතර, හර්නියා වැළඳෙන රෝගීන් මීට කදිම උදාහරණයක් ලෙස ඉදිරිපත් කළ හැකිය. සෙනසුරු ​ෙහා් ගුරු ග්‍රහයකු හයවැන්නේ පිහිටීම කල් පවතින රෝගාබාධවලට හේතුවන අතර, ඒ ඒ ලග්නවලදී හයවැන්නාධිපති ග්‍රහයාගේ තත්ත්වයද එහිදී සැලකිල්ලට ගත යුතු වේ.

හයවැන්නෙහි ස්වභාවය

විශ්ව කේන්දරය (මේෂය) අනුව නියෝජනය වන්නේ කන්‍යා රාශිය වන අතර, ශරීර ස්ථානය වන්නේ ආමාශය ඇතුළු යටි බඩ ප්‍රදේශය වේ.

ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය පුළුල්ව හැදෑරීමෙන් ජන්මියා නිරෝගී පුද්ගලයකුද? නිතර රෝග හට ගැනීම නිසා දුර්වල ශරීර ශක්තියක් හිමි කෙනෙකුදැයි වටහා ගැනීම අසීරු නැත.

ඔහුට හෝ අැයට උපතින්ම උරුම හෝ ජාන මගින් අනාගතයේ මතුවිය හැකි රෝගයක්ද? රෝගය මතුවිය හැකි කාලසීමාවද, ඖෂධ මගින් පමණක් සුව කළ හැකිද? නොඑසේ නම් ප්‍රතිකාර කරන අතරතුරදී ගුප්ත විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කළ යුතු දැයි නිශ්චය වශයෙන්ම තීරණය කළ හැකිය.

ග්‍රහයන්ගේ දුබලතාව අනුව රෝගාබාධ

1. රවි – හෘදය වස්තුව නියෝජනය වන්නේ රවි ග්‍රහයාය. උෂ්ණාධික තත්ත්වයේ යෙදෙන රෝග මෙන්ම ලේ ගමන් කිරීමේ දෝෂද වැටීම්, තැලීම්, ආදියෙන් සිදු වන හදිසි අනතුරු තුවාලද කේන්දරයේ රවි ග්‍රහයා දුබල වූවන්ගෙන් දක්නට ලැබේ.

2. සඳු – දුර්වලවීම නිසා සෙම් දෝෂයන් යෙදෙන සෙම් ගෙඩි, මීමැස්මොරය, වලිප්පුව වැනි සිහි නැතිවීම්, මානසික ආබාධ, ඔසප් දෝෂ මතුවේ.

3. කුජ – දුර්වල වීම නිසා ලේ දෝෂයෙන් යෙදෙන සමේ රෝග හා උෂ්ණාධික රෝග මතු වේ.

4. බුධ – දුර්වලවීම නිසා ගොත ගැසීම් වැනි කතාවේ දෝෂ, ගොළු බිහිරි බව, මන්ද බුද්ධික බව හා කල් පවතින මානසික රෝග මතුවේ.

5. ගුරු – දුර්වල වීම නිසා පිත් දෝෂ, සෙංගමාලය, දියවැඩියාව වැනි කල් පවතින රෝග, වකුගඩු ආබාධ, පිළිකා වැනි ලේ විෂ වීමෙන් සෑදෙන රෝග මතු වේ.

6. සිකුරු – දුර්වලවීම නිසා මුත්‍රා රෝග ඇතුළු දියවැඩියාව හා ධාතු ශක්තිය දුර්වල වීමෙන් ශරීරයද කෙට්ටු වේ.

7. ශනි – දුර්වලවීම නිසා කල් පවතින වාත රෝග ඇති වේ. උපතේදී දුර්වල සෙනසුරු ග්‍රහයා කුජ ග්‍රහයා සමඟ යෝග වූ විට වැටීම්, තැලීම් පමණක් නොව වම් පාදයේ ඇට බිඳීම් ද ඇති වේ. එසේම අංශභාගය වැනි නිදන්ගත රෝග ඇති වේ. හයවැන්නේ හෝ අටවැන්නේ පිහිටි ශනි ග්‍රහයාට හයවැන්නාධිපතිගේ සංයෝගවීමද ස්නායු ආබාධවලට හේතු වනු ඇත.

8. රාහු – හයවැන්න හා සම්බන්ධ වන පරිදි රාහු ග්‍රහයා දුර්වලව පිහිටීමෙන් ජන්මියාට වස විස කැවීම් හෝ සර්ප විෂ ශරීර ගතවීමට ද වැඩි ඉඩක් ඇත.

9. ​කේතු – හයවැන්න හා කේතු ග්‍රහයා සම්බන්ධ වූ විට උදරාබාධ වරින්වර මතු වේ. සඳු ග්‍රහයා ද දුර්වල තත්ත්වයේ නම් මීට අමතරව සෙම් දෝෂ හා පැපොල්, සරම්ප වැනි බෝවන රෝගද වැළඳේ.

ලග්නාධිපතියා හය, අට, දොළහ, දුෂ්ට ස්ථානයක පවතී නම් සෞඛ්‍ය තත්ත්වය දුර්වල වේ. එසේ තිබියදී ලග්න භාවයේ අසුබ ග්‍රහයකු පිහිටීම නිතර රෝගාබාධවලට ලක් වන බවට සලකුණකි. ලග්න භාවය හා ලග්නාධිපති පාප අතර පිහිටීම (පාපකර්නරී යෝගය) ද දුර්වල සෞඛ්‍ය තත්ත්වයකට ඉඟියකි. රවි ග්‍රහයා කේන්දරයේ අටවැන්නේ පිහිටි බොහෝ දෙනෙකුට තම මව්පියන්ට තිබූ දියවැඩියාව වැනි කල් පවතින රෝගාබාධ වැළඳීමේ ලක්ෂණ දක්නට ඇත. සුදුසු ඖෂධ භාවිතයෙන් රෝගී තත්ත්වය බොහෝ දුරට පාලනය කර ගැනීමටද හැකි වේ.

මිල්ටන් හේවාපතිරණ

Share with your friends :