27 C
Colombo
16/05/2024

ජීවිතයේ වේගවත් බව ලබා දෙන කුජ

Share with your friends :

කුජ යන නමින් හඳුන්වන්නේ අප කවුරුත් දන්නා අඟහරුය. ඒ අනුව කුජ දින පොදු ව්‍යවහාරයේ දී භාවිත වන්නේ අඟහරුවාදා දිනය වශයෙනි. කුජ හෙවත් අඟහරු විශ්ව කේන්ද්‍රයේ ලග්නාධිපතිය. විශ්ව කේන්ද්‍රයේ ලග්නය මේෂ රාශිය වන අතර අටවැනි රාශිය වෘශ්චිකයයි. මධ්‍ය දේශයේ උපන් කුජගේ මව මහී දේවියයි. භාරද්වාජ ගෝත්‍රයේ ක්ෂත්‍රීය වංශයේය. කුජ ග්‍රහ මඬුල්ලේ සෙන්පතියාය. තාරා ග්‍රහයෙක් වන අතර පෘෂ්ටෝදය හෙවත් පිටින් උදා වන්නේය. සිව්පාවකුගේ හැඩයට සමාන මඳ රක්ත වර්ණයෙන් යුතුය. රත්තරන් ලෝහයට අධිපති – මැණික් වශයෙන් රතු කොරල් හිමි වේ. කොලොන් වෘක්ෂය ද, ධාන්‍ය වර්ගය ලෙස රතු පරිප්පු ද, කනේරු මල් ද, ගිනි සහිත ස්ථාන ද, මජ්ජා ධාතුව ද, තිත්ත රසය ද, ග්‍රීස්ම ඍතුව ද කුජට අයත්ය. තේජෝ භූතයට අධිපති තමස් ගුණ යුක්ත ග්‍රහයෙකි.

රන් ඔටුන්නක් හිස පැළඳ, තරුණ පෙනුමෙන් යුතු දඩබ්බර දෙනුවන් ඇති පිත් බහුල අත් සතරකින් යුතු කුලශක්ති ගද්‍රායුධයක් අතින් දරා සිටින පාපී පුරුෂ ග්‍රහයෙකි. මයුර හෙවත් මොණරා වාහනය වන්නේය. රන් හෙණ්ඩුවක් සුරතින් දරා සිටියි. මේ නිසාම කතරගම ස්කන්ධ කුමාර දෙවියන් අඟහරුගේ ස්වාමි දෙවියන් වන්නේය.

මේෂ, වෘශ්චික රාශිද්වයට අධිපති වන අතර මේෂ රාශියට මූලත්‍රිකෝණ, වෘශ්චිකය ස්වක්ෂේත්‍රද වන්නේය. මේෂ රාශියේ මුල් අංශක 12 තුළදී මූල ත්‍රිකෝණ බලය ලබන අතර අග අංශක 18 ස්වක්ෂේත්‍ර වන්නේය. මකර රාශියේදී උච්ච බලයට පත්වන අතර එහි අංශක 28 දී පරම උච්ච බලය ලබයි. එසේම කටක රාශිය අඟහුරැගේ නීච රාශියයි. කටකයේ 28 වැනි අංශකයේ දී පරම නීච තත්ත්වයට පත් වන්නේය. සිකුරුට අයත් සෙනසුරුගේ උච්ච භාවය වූ තුලාව කුජගේ මූඪ රාශියයි. මුවසිරස – සිත – දෙනට යන නැකැත් තුනට අධිපති වන්නේ කුජය. කුජට හිමි මහ දශා කාලය අවුරුදු 07 කි.

ලග්නයෙන් 3 වැන්නට කාරක ග්‍රහයාය. වික්‍රමස්ථානය වන බැවින් බලාධිකව යෙදුණු කළ බුධ රාහු හා ශනිගෙන් යෙදෙන දෝෂ භංග කරවීමේ ශක්තියකින් යුතුය. නෙසර්ගික බලයෙන්ම සෙනසුරුට වඩා උසස් බලයක් හිමි ග්‍රහයෙකි. රවි – චන්ද්‍ර – බුධ – ගුරු – සිකුරු යන ග්‍රහයන්ට වඩා පහළ බලයක් ද, සෙනසුරුට වඩා ඉහළ බලයක් ද හිමිය.

කුජ – අඟහරු යන නම් ඇසූ පමණින් බොහෝ අය තුළ ඇති වන්නේ සුබවාදී පිළිගැනීමක් / සිතුවිල්ලක් නොවේ. නරක පාප ග්‍රහයෙකු සහ සිතුවිල්ලකින් කුජ හඳුනාගැනීමට පුරුදු වී සිටී. කුජ යුදහමුදාව, ආරක්ෂක අංශ නියෝජනය කරන සේනාධිපති ලෙස නම් දරා ඇති බැවින් ආයුධවලටත් ගින්නටත් කාරක වූ අයිතියක් ඇත. ගින්නට කාරක අයිතිය ඇති අනෙක් ග්‍රහයා රාහුය. එබැවින් රාහුගෙන් ව්‍යාප්ත කිරීමේ පතුරුවාලීමේ / ව්‍යාප්ත කරවීමේ ශක්තිය බහුලව ලැබීමෙන් ගින්න බලවත් වේ. කුජ රාහු සංයෝගය මේ නිසා ඉතාම අයහපත් වන්නේය.

කුජ හදිසි අනතුරු හා ශල්‍යකර්මවලට කාරක ග්‍රහයාය. ආයුධකාරකයා වන බැවින් ශල්‍යකර්ම / සැත්කම් (Operation) සඳහා ශල්‍ය උපකරණ අවශ්‍ය වේ. රුධිරයට / ලේ වලට කුජගේ අයිතියක් ඇත. මේ නිසා ලේ සෙලවීමේ / තුවාල කිරීමේ බලය ඇත්තේ කුජටය. සේනාධිපති නිසා ඉක්මන් කෝපය. බුද්ධි අංශය වැනි ආරක්ෂක අංශවල රහසින් කරන යම් යම් ක්‍රියා ද ඇතුළත්ය. මේ හරහා සොරකම නියෝජනය කිරීමේ අයිතියක් ද කුජට හිමිවී ඇත.

මහචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ වැදිරජු සහ මනමේ කුමරිය අතර සිදුවන දෙබසින් කියැවෙන ආකාරයට රාජකීය මනමේ කුමාරයාට වඩා කායික ශක්තිය හා ආරෝහ පරිණාහ දේහ විලාශය වැදි නායකයා වෙතින් විද්‍යමාන වූ බැවින් මනමේ කුමරිය
හැඩි දැඩි සිරුර ආශා හිතුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා

යනාදී වශයෙන් සඳහන් වන දෙබස තුළ මෙම කුජගේ ස්වභාවය ඉතා හොඳින් විග්‍රහ වන්නේය. කාමාශක්ත බව – ස්ත්‍රීය පිළිබඳව සිත්ගන්නා ලෙසින් වර්ණනා කරන අයුරු – වැදි නායකයෙක් වීම, ආයුධ දැරීම, රාජකුමාරයෙක් සමඟ වුවද සටන් කිරීමට නොපසුබට වීම, තම බිරිඳ සිටිය දී මනමේ කුමරිය සරණ කරගැනීමට කැමැත්ත දීම, කුමරියගේ චපල බවට අකමැති වීම, වාද විවාද, රතු වස්ත්‍ර දැරීම, එඩිතර බව යනාදී සියල්ල තුළින් කැපී පෙනෙන්නේ කුජ හෙවත් අඟහරුගේ චරිත ස්වභාවයයි.

සෙන්පතියෙක් / රණවිරුවෙක් කියූ පමණින් තරුණ හැඩිදැඩි කඳු හා වනාන්තර ප්‍රදේශවල ගැවසෙන පුරුෂයෙක් මතකයට නැගෙනු ඇත. වේගවත් බව, සටන්කාමී බව, අවදානම් කටයුතුවලට වුව ද නොබියව ඉදිරිපත් වීම, සිංහ – කොටි – ව්‍යාඝ්‍ර ආදී දරුණු සතුන්, ත්‍රස්ත සංවිධාන, අවි ගැටුම්, කැරළි කෝලාහල, මංකොල්ලකෑම්, ලේ වෑහෙන තුවාල, කැපුම් කෙටුම්, උස් හඬින් කතා කිරීම හා කියන දේ නියෝගයක් බඳුවීම එයින් සිත් පාරවන අවස්ථා ඇති බව ආදී බොහෝ දේ කිව හැකිය.

කුජ හෙවත් අඟහරු ස්වභාවයෙන් ම / නෛසර්ගිකව ම පාපී ග්‍රහයකි. කුජ ලග්නයෙන් හෝ සඳුගෙන් 7 – 8 සිටින්නේ නම් පාප කේන්ද්‍ර වශයෙන් හැඳින්වීමට පවා ජනතාව පුරුදු වී සිටිති. මෙය භෞම දෝෂයයි. සත්‍ය වශයෙන්ම භෞම දෝෂය යෙදෙන්නේ එම රාශි දෙකේ පමණක් නොවේ. ලග්නය දෙවැන්න, සිව්වැන්න, හත්වැන්න, අවැන්න හා දොළොස්වැන්න (1, 2, 4, 7, 8, 12) යන කුමන රාශියක කුජගේ පිහිටීම වුව ද 7 වැන්න අටවැන්නට දෘෂ්ටි වැටෙන බැවින් භෞම දෝෂයයි. තව ද එම කුජ දෝෂයට ඔවුන් දක්වන්නේ ද බියකි.

මෙම භෞම දෝෂය සහිත කේන්ද්‍රය පාප කේන්ද්‍රයක් ලෙසින් සැලීමට පුරුදුව සිටින අතර එවැනි කේන්ද්‍ර හිමියන්ගේ විවාහය සඳහා එවැනිම යෝගයක් සහිත කේන්ද්‍රය හිමියෙක් තෝරාගැනීම තුළින් පමණක් විවාහය ශක්තිමත්ව ගතකළ හැකි වන්නේය. එහි ඇති රහස නම් එම දෝෂය නිසා පාප කේන්ද්‍රයක් වීමට වඩා භෞම දෝෂය හිමි අයගේ කායික හා මානසික අවශතා සපුරාලිය හැකි එවැනි ම අයෙකුගේ සම්බන්ධය තුළින් විවාහය ශක්තිමත් විමයි. මෙතෙක් වේලා අප සාකච්ඡා කළ කරුණු අනුව කුජ යහපත් ලෙස සුබ රාශියක සුබ දෘෂ්ටි හෝ සුබ සංයෝග සහිතව යෙදී සිටී නම් නරක නැත.

යම් අයෙකුට ශල්‍ය වෛද්‍යවරයෙක් / ඉංජිනේරුවරයෙක්, පරිගණක හෝ වෙනත් තාක්ෂණික අංශයට නැඹුරු රැකියාවක හෝ ආරක්ෂක සේනාවක සේවය කරන්නේ නම් ඒ සියලු දෙනාගේ කුජ බලවත් බව කිව හැකිය. රසායනාගාර, යන්ත්‍ර සූත්‍ර, පුපුරණ ද්‍රව්‍ය, කර්මාන්තශාලා, කළුගල්, ක්‍රීඩා ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර නියෝජනය කරයි. ශල්‍ය වෛද්‍යවරයා ආයුධ දැරිය යුතුය. ඉංජිනේරුවරයා ගණිතය තාක්ෂණික උපකරණ පරිහරණය කරයි ආරක්ෂක අංශවලට නැඹුරු සියලු අංශවල රැකියාවලට ද මෙසේය. කුජගේ බලවත්කම අනුව රැකියාවේ උසස් හෝ පහත් ස්වභාවය තීරණය වන්නේය.

කුජ විශ්ව කේන්ද්‍රයේ ලග්නාධිපති බැවින් ඤාණකාරක අයිතියක් ඇත. පස්වැන්න හෝ 5 අධිපතියාට ශුභ සම්බන්ධයක් තිබේ නම් මෙම ඤාණකාරක ගුණය බලවත්වෙයි. මෙම සම්බන්ධට සඳුගෙන් 5 වැන්නේ යෙදී තිබේ නම් වහා වටහා ගැනීමේ ගුණයෙන් යුතුය.

ජ්‍යොතිර්වේදී / ශාස්ත්‍රපති
සමන් ශ්‍රී කොඩිතුවක්කු

(B.A. (sp, Hon’s), M.A. ජ්‍යොතිෂපති)
samansrikodithuwakku@gmail.com

Share with your friends :