27 C
Colombo
16/05/2024

වෘත්තීය බලය ලබා දෙන ග්‍රහයෝ

Share with your friends :

මිනිස් ජීවිතයේ යහපැවැත්ම හා අරමුණුවල ජයග්‍රහණ ළඟා කර ගැනීම පිණිස වෘත්තීය හෙවත් රැකියාව අත්‍යවශ්‍ය අංගයකි. ඕනෑම පුද්ගලයෙකුගේ රැකියාව හෙවත් වෘත්තීය මට්ටම තුළ ඔහුගේ දිවිගමන නිරායාසයෙන් ආලෝකවත් වන්නේය. රැකියාවේ තත්ත්වය මත ජීවිතයේ සියලු අනාගත අපේක්ෂා තීරණය වන්නේය. මේ නිසා ජන්මියාගේ රැකියා බලය පිළිබඳව විමසීම ජ්‍යොතිෂවේදින් විසින් මැනවින් විමර්ශනය කළ යුතු ය.

වෘත්තීය බලය පිළිබඳව විස්තර කිරීමට නම් ජන්ම පත්‍රයේ 10 වැනි භාවය විමසීමෙන් අධ්‍යයනය කළ යුතුය. 10 වැනි භාවය – 10 වැනි භාවයේ සිටින ග්‍රහයන් , 10 අධිපති ග්‍රහයා සිටින නැකත, 10 අධිපති තැන්පත් රාශිය හා තත්ත්වය , 10 වැන්නට ලැබෙන ග්‍රහ දෘෂ්ටි සහ වෘත්තිය බලය ඔප්නංවන වෙනත් ග්‍රහ යෝග යනාදි කරුණු රැසක් පිළිබඳව මෙහිදී පර්යේෂණාත්මකව අධ්‍යනය කළ යුතුය. මේ සමග ම 05 වැන්නේ භාවය පිළිබඳව ද විමසුම් ඇස යොමු කළ යුතුය.

වෘත්තීය බලය විමසීමේදී සෙනසුරු රාහු කේතු යන ග්‍රහයන්ගේ පිහිටීමද සොයා බැලීම වැදගත්ය. කාර්යය නිසි පරිදි සම්පූර්ණ කිරිමේ නිපුණතාවය ඇත්තේ සෙනසුරු සතුව බැවිනි. රාහු කේතු ගුප්ත ග්‍රහයන්ය. ඒ නිසාම කර්ම පාලක අයිතිය ඇත්තේ රාහු කේතු දෙදෙනාටය.

ග්‍රහ මඩුල්ලේ ප්‍රධානියා ලෙස සලකන්නේ රාජ්‍යකාරක රවිග්‍රහයය. රාජ්‍ය අංශයේ ස්ථිර රැකියා හිමිවීම කෙරෙහි රවිගේ බලය අතිශය වැදගත්ය. ඒ සඳහා රවිගේ පිහිටීම තත්වය හා දෘෂ්ටි ලන අනිකුත් ග්‍රහයන් දෙසද අවධානය යොමු කර විමර්ශනය කල යුතුය. 10 අධිපතියා උච්ච හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව සිටීම හෝ 10 වැන්නේ වෙනත් ග්‍රහයෙකු උච්චව සිටීම හා ශුභ දෘෂ්ටි ලැබීම ද, කේන්ද්‍රගත හෝ ත්‍රිකෝණගතව සිටින 10 අධිපතියාගේ බලවත් දෘෂ්ටියකට හසුවීමද රවි බුධ සංයෝගය කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝණගතව යෙදි 10 වැන්නට දෘෂ්ටි ලැබීම රවි බුධ සංයෝගයට ගුරු සම්බන්ධ වීම හෝ දෘෂ්ටි හෙලීම රවි කුජ ගුරු එසේ පිහිටීමද රාජ්‍ය අංශයේ රැකියා හිමිවීම සම්බන්ධයෙන් ඉඟි කරන ග්‍රහ පිහිටීම් ය. ඒ වෘත්තීය බලය හිමිවන අදාල අංශය කුමක් වන්නේ දැයි සොයා බැලීම පිණිස උක්ත ග්‍රහ සංයෝගවල බලවත් ග්‍රහයන් පිළිබඳව සොයා බැලිය යුතුය. ඔහුගේ ස්වභාවය අනුව තාක්ෂණ, පරිපාලන, ගණිතමය ආදී වශයෙන් ඔහු අයත්වන සේවාව හෝ අංශය තීරණ වන්නේය. සංගීතය, චිත්‍ර මූර්ති හෝ කැටයම් කලාව ආදිය අතින් ද එසේම ය.

ජන්ම කේන්ද්‍රයේ දෙවැන්න කටක හෝ වෘෂභ රාශියක් වී සඳුගේ පිහිටීම අනුව අනුශාසන කරන උපදෙස් දෙන රැකියාවකට හිමිකම් ලැබෙන්නේය. ඒ අනුව ගුරු වෘත්තීය හෝ ඒ සමාන වෘත්තියක් හිමි වන පෙනී යයි. එහිදි රවි ගුරු බලවත්ව 10 වැන්නේ හෝ දසවැන්නට දෘෂ්ටි හෙලයි නම් කථිකාචාර්ය, මහාචාර්ය වැනි ගරු නම්බු සහිත උසස් වෘත්තියකට හිමිකම ලැබෙන අතර නම රඳවන ලේඛන කලාවේ දක්ෂයන් ද වේ. තවද දෙවැන්න බුධ හිමි රාශියක්ව රවි බුධ එහි යෝග වීම හා රවි ගුරු යෝගය යෙදීම උක්ත රැකියා බලය තවදුරටත් වර්ධනය කරන්නේය. රවී බලවත්ව යෙදී තිබුණේ නම් තම ක්ෂේත්‍රයේ ප්‍රධානියෙකු වීමට හැකියාව ලැබෙන්නේය.

සෙනසුරු වැඩකාරයා ලෙස හඳුනාගෙන ඇත. එහි අරුත මෙහෙකාර කම්කරු යන්න නොව නිපුණ, හැකියාවන් සහිත තැනැත්තා යනුවෙන් තේරුම් ගැනීම වැදගත්ය. ඒ අනුව සෙනසුරු 10 වැන්නේ යෙදුනේ නම් හෝ 10 සෙනසුරුගේ රාශියක් වී එයට සෙනසුරුගේ දෘෂ්ටි වැටේ නම් දහඩිය මහන්සියෙන් කටයුතු කරන රැකියාවක් උරුම වන්නේය. වෛද්‍ය වෘත්තිය හෝ ඖෂධවේදී තනතුරු වැනි අංශ සඳහා ද මෙහි සබඳතාවය ඇත. මෙයට අඟහරුගේ සම්බන්ධතාවයක් ඇති වූයේ නම් ඉංජිනේරු වෘත්තීන්ට යොමු වීමේ ප්‍රවණතාවයක් ද වන්නේය. විශේෂඥ ශල්‍ය වෛද්‍ය වරයෙකු වීමේ භාග්‍යය සඳහාද උක්ත ග්‍රහ පිහිටීම් සම්බන්ද වන්නේය.

කුජ හෙවත් අඟහරු ආයුධ කාරක ග්‍රහයාය. අඟහරු 10 වැන්නට දික්බල බැවින් 10 වැන්නේ කුජ තැන්පත් අය බොහෝවිට ආරක්ෂක අංශයට අයත් රැකියාවල නිරත වන්නේය. සුබ සංයෝග හෝ සුබ දෘෂ්ටි සහිතව ආරක්ෂක අංශයේ නම ගිය ප්‍රධානියෙකු වේ. අයහපත් ග්‍රහ පිහිටීම් හා අශුභ දෘෂ්ටි සහිත නම් පාතල ලෝකයේ නම් දැරු චණ්ඩියෙකු බිහිවනු ඇත. මේ දෙපාර්ශවයම කෙසේ හෝ තම කාර්ය අවසන් කරන අප්‍රතිගත ධෛර්යෙකින් යුතු අය බව පැහැදිලි ය.

එසේම කුජගේ සහයට අසුබ නැකත සිටින රාහුද සම්බන්ධ වුයේ නම් දැවැන්ත අවිආයුධ දාරා විප්ලවාදී ක්‍රියාකරන අයෙකු බිහිවන්නේය. යහපත් ග්‍රහ දෘෂ්ටි වූයේ නම් රැකියා ගණානවක් කරන අයෙකු වීමට අවස්ථාව ඇති වන්නේය. අලෙවි ප්‍රවර්ධන කණ්ඩායම්වල හෝ අලෙවි නියෝජිත වැනි රැකියාවලට එහි ඇති නැඹුරුතාවය ද වැඩිය.

චිත්තකාරක සඳු කර්ම ස්ථානය හෙවත් 10 වැන්නේ යෙදීම නිසා ජලයට සම්බන්ධ රැකියා බලයක් ලැබෙන්නේය. පානීය ජල බෝතල් අලෙවි කිරීම, ධීවර වෘත්තිය, කුජ – සඳු එක්වීම හෝ දෘෂ්ටි ලැබීම නාවික හමුදාව වැනි ක්ෂේත්‍ර නියෝජනය කරන්නේය. සඳු ස්වක්ෂේත්‍ර හෝ උච්චව හෝ එසේම සිකුරුගේ සුබ දෘෂ්ටි සහිතව සිටින්නේ නම් සිසිල් බීම fruit juice ආදිය අලෙවි කරන සුපිරි ආපන ශාලාවක් පවත්වාගෙන යාමේ නැඹුරුව හිමිවන්නේය. මෙලෙස සෙනසුරුගේ රාහුගේ සංයෝගය සඳුට ලැබී දස වැන්නේ තැම්පත් වූයේ නම් මත්ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපර හෝ එවැනි රැකියා වලට උරුමකම් හිමිවන අතර රවි සිකුරු ද සංයෝග වුයේ නම් ඒවා රාත්‍රී සමාජ ශාලාවක සේවය කිරීමේ අංශයකට යොමු වීමේ ප්‍රවණතාවය වැඩිය.

ලග්නාධිපති සිකුරු 10 වැන්නේ බලවත්ව 10 අධිපති සමග සිටීම සුන්දරත්වයෙන් යුතු කලා නිර්මාණ බිහිකරන රැකියාවලට උරුමකම පෙන්වයි. මෙයට ම කුජගේද ශක්තියක් ලැබුණේ නම් කාර්යය අතරමග නතර නොකර අලසකමින් තොරව අවසානය දක්වාම කර ගෙන යාමේ ශක්තිය හිමි වන්නේය. අතීත ශ්‍රි ලංකික කැටයම් කලාව පිළිබඳව සිතා බලන්න. ඇම්බැක්ක ශ්‍රි නාථ දේවාලයේ ලී කැටයම් විශ්මය දනවන සුළුය. ඇත්දළ කැටයම් ගල් කැටයම් ද එසේමය. සීගිරි බිතුසිතුවම් නිර්මාණ අදටද විස්මය දනවන සුළුය.

ධනකාරක ගුරු 10 වැන්නේ නම් හෝ මිල මුදල් සම්බන්ධ උසස් ආයතන වල රැකියා බලය හිමි වන්නේය. ඒ අනුව බැංකුවල රැකියා හෝ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හෝ පෞද්ගලික ආයතනවල ගණාධිකාරි තනතුර සඳහා ශක්තිය හිමි වේ . ගණිතය පිළිබඳ විශේෂඥ කුජගේ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය වන්නේය. හතරවැන්නාධිපතිගේ ද සම්බන්ධයක් සහිතව, සතුරු ස්ථානය වු 06 වැනි භාවයේ සෙනසුරු තැම්පත්ව 10 අධිපති සමග සංයෝග වීම වෘත්තීය නීතිඥයන් බිහිකරන යෝගයකි.

මෙලෙසින් යුතු ග්‍රහ පිහිටීම් සහිත කේන්ද්‍ර හිමියන් ඒ ඒ වෘත්තීන් හි නිරත වන්නේ ය. සුබ සංයෝග මගින් අදාල වෘත්තින් හි ප්‍රවීණයන් ද අසුබ සංයෝග මගින් අදාල වෘත්තීන්හි සාමාන්‍ය සේවකයන් ද බිහිවන බව පෙනී යන්නේය.

ජ්‍යොතිෂවේදී / ශාස්ත්‍රපති
සමන් ශ්‍රී කොඩිතුවක්කු

Share with your friends :