27 C
Colombo
16/05/2024

දේශපාලන බලය ලබා දෙන රාජයෝග

Share with your friends :

මහජන ප්‍රසාදය මත රාජ්‍ය තන්ත්‍රයේ ඉහළටම නැග රාජ්‍ය නායකත්වය පවත්වාගෙන යාම අපහසු ය. මා පිය පරපුරෙන් එන උරුමයක් නිසා හෝ රාජ්‍ය නායකයන්ගේ ඇයි හොඳයිකම මත ලබා ගත් නායකත්වය පසු පස, ජනතා විරෝධය හබා එන බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. මෙයට හොඳම නිදසුන නම් බෙනාසීර් භූට්ටෝ මහත්මියගේ කේන්ද්‍රයයි. ගුරු, බුධ හා ශුක්‍ර කේන්ද්‍රස්ථාන වලින් බැහැරව රවි – ශනි – කුජ කේන්ද්‍රස්ථානගතවද ධනු ලග්නයෙන් උපන් ඇගේ මුළු දිවිය ම එකම එකම දුක්දොම්නස්වලින් පිරුණු එකකි. ඇගේ මුළු දිවියටම බෙහෙවින් ආදරය කළ පියා අසාධාරණ ලෙසින් සිර භාරයට ගෙන එල්ලා මැරීම, යොවුන් වියේදීම හමුදා පාලනයේ අත්අඩංගුවට ගැනීම, එයින් නිදහස් වූ පසු රහස් ගාතන සැළසුමකට හසුව දිවි ගලවා ගැනීම පිණිස මව් බිමෙන් පලා යන්නට සිඳු වීම, කේන්ද්‍රයේ ඇති අනෙක් බලවත් යෝග නිසා නොයෙකුත් හිරිහැර මැද අගමැති පදවියට පත්වුවද නියමිත කාලය ඉකුත් වන්නට පෙර අප්‍රමාණ දූෂණ චොදනා මධ්‍යයේ බලයෙන් පහ කරනු ලැබීම සිය සොයුරන් දෙදෙනාම දෙවරකට ඝාතනය කරනු ලැබීම හා ඉන් එකකට සිය සැමියාගේ නමද සම්බන්ධ වී තිබීම, මේ හේතුව නිසා තම මෑණියන්ද තමාට එරෙහි වීම, දූෂණ චෝදනා ගණනක් එල්ල වීම, මේ නිසා තම සැමියාද සිය රටට පිළිකුල් වීම, ආදී අවාසනාවන්ත සිදුවීම් ගණනාවක් විසින්ම තම ජීවිතය වෙලාගනු ලැබීම මොන තරම් කටුක අවාසනාවන්ත සිඳුවීම්ද? මෙවැනි කටුක අත්දැකීම් මාලාවක් කර පින්නා ගැනීමට නම් රජකම් කුමකටද? රාජ්‍ය නායකත්වය කුමකටද? ඇගේ ජීවිතයේ එකම ප්‍රතිඵලය වූයේ සිය අවාසනාවන්ත කම ලෝකයට ප්‍රදර්ශනය වීම පමණි. ඇගේ කේන්ද්‍රයේ සියලුම පාප ග්‍රහයන් කේන්ද්‍රගතව සිටීම සර්ප යෝගය වශයෙන් ජ්‍යොතිෂයේදී හඳුන්වනු ලැබේ.
එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක 1899 ජනවාරි මස 8 වැනිදා කුම්භ ලග්නයෙන් උපන් කෙනෙකි. අනුර නැකතේ පළමු පාදය විය. චෙල්වනායගම් මහතාත් 1898 අප්‍රෙල් 01 වැනිදා කුම්භ ලග්නයෙන් ම උපන් කෙනෙකි. දෙදෙනාම ශනි හිමි අනුර හා පුෂ නැකතින් උපන්නෝ ය. බණ්ඩාරනායක මහතා දකුණු සිරිලකේ නායකයා වන විට චෙල්වනායගම් මහතා උතුරේ නායකයා විය. බණ්ඩාරනායක මහතාගේ කේන්ද්‍රයේ බලවත් රාජ යෝග නොවීය. ලග්නාධිපති ශනි හා යෝග කාරක සිකුරුත් 10 වැන්නේ වීම බලවත් යෝගයකි. එහෙත් නීච සඳුත් 10 වැන්නට පැමිණීිම නිසා එම රාජ යෝගය දුබල විය. එසේ නම් එතුමා බලයට පැමිණියේ කෙසේද යන ප්‍රශ්ණයක් උපදී. එතුමාට ශ්‍රී ලංකාවේ දේශපාලන බලවතකු වීමේ අපේක්‍ෂාවක් නොවීය. රාජ්‍ය නායකත්වය වෙනස් කිරීමේ වුවමනාව වූයේ එවකට කැළණිය විහාරාධිපතිව සිටි බුද්ධ රක්ඛිත හිමියනට හා ප්‍රවීණ පුවත් පත් කතුවරයෙකු වූ ඩී. බී ධනපාල මහතා ඇතුළු කීප දෙනෙකුට ය. ඒ සඳහා ඒ අය මුලින්ම ආරාධනය කළේ සර්. ඩී. බී ජයතිලක මහතාට ය. එතුමා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේ ය. තවත් කීප දෙනෙකුට කළ ආරාධනය ප්‍රතික්‍ෂේප වූ නිසා ඒ පිරිස කීප වරක්ම ඒ සඳහා බණ්ඩාරනායක මහතා කැමති කරවා ගත්තේ ය. එතුමාට රාජ යෝග නැතත් බුද්ධිය සහ උගත්කම විය. ඒ බුද්ධි බලයත්, පුවත්පත් බලයත් හා සංඝ බලයත් විසින් එතුමා බලයට පත් කළේ ය. ඒ කථාව වත්මන් පරපුර නොදන්නා දීර්ඝ එකකි. ඒ සඳහා වෙනම ලිපියක් ලිවිය යුතුය. එහෙත් සිරිමා බණ්ඩාර මහත්මියගේ කේන්ද්‍රය දේශපාලනය පැත්තෙන් ඊට වඩා බලවත් විය. සිරිමා බණ්ඩාරනායක මහත්මිය උපන්දාම කේන්ද්‍රය හැදූ ජ්‍යොතිෂ වේදියෙක් එතුමිය මේ රට පාලනය කරන බවක් කී කථාව අනුර බණ්ඩාරනායක මහතා එක්තරා රැස්වීමකදී ප්‍රකාශ කළේ ය.
යෝග සාරය කතුවරයා රාජ යෝග ගැන සඳහන් කරමින් එක් තැනක මෙසේ ලියා ඇත.
‘රවි සහ බුධ අට වැන්නේ නම් එය රාජ යෝගයකි’ මේ යෝගය සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ජන්ම කේන්ද්‍රයේ වෙයි. බණ්ඩාරනායක මහතාගේ කෙන්න්ද්‍රයේ බලවත් රාජ යෝග නොවූයෙන් එතුමාට අගමැති කිරුළ බරක් විය. එතුමා අගමැති වුවත් පාලන තන්ත්‍රයේ වූ වැඩි දෙනෙක් කළු සුද්දෝ වූහ. ඒ නිසා වර්ජන සිය ගණනකට මුහුණ දීමට සිදු විය. අගතියට හිස එසවීමට ඉඩ නොදුන් නිසාම එතුමා සාහසිකයකු අතින් ඝාතනය විය. ඒ හිස් තැන පිරවීමට පක්‍ෂයේ පිරිසක් මැතිණිය ඒ පුටුවේ වාඩි කරවීමට සමත් වූහ.
මාන සාගරී කතුවරයා රවි – බුධ යෝගය 8 වැන්නට රාජ යෝගයකැයි සඳහන් කරන්නට ඇත්තේ 8 යනු 10 න් 11 සහ 11 න් 10 වැන්න වන නිසා විය යුතුය. එහෙත් සිරිමා මැතිණිය ජන ජීවිතය හඳුනා ගෙන නොසිටි නිසා වේලක් හැර වේලක් බත් කෑමටත්, රෙදි යාරයකින් සිරුර වසා ගැනීමටත් ජනතාවට කීවේ ය. ගැමියාගේ බයිසිකලයට ටයරයක් හොයා ගැනීමට බැරි විය.
එතුමිය බුද්ධාගම දැන සිටියේ නම් ඒ ටික වන්නේ නැත. බුදුන් වහන්සේ සිවුපසයක් ගැන වදාළහ. ඒ චීවර, පිණ්ඩ පාත, සේනාසන හා ගිලාන ප්‍රත්‍යය යන හතරයි. එතැනදී උන්වහන්සේ පිණ්ඩපාතය හෙවත් ආහාරය ප්‍රමුඛ කළේ නැත. චීවරය හෙවත් ඇඳුම නැත්නම් රෙද්ද ප්‍රමුඛ කළහ. එයට හේතුව ලජ්ජා – භය දෙක ජීවිතයට වඩාත් වැදගත් බව ප්‍රත්‍යක්‍ෂ කිරීමටය. ඒ පාලනය ගැනත් ජනතාව හොඳටම කලකිරීමට පත්විය. ඒ නිසා ඊලග මැතිවරණයට අගමැති තනතුර සඳහා ඉදිරිපත් වූ ජේ. ආර් ජයවර්ධන මහතා මැතිනිය ගේ පාලන සම්ප්‍රදාය කණපිට හරවමින් විවෘත ආර්ථිකය ගෙනාවේ ය.
හිතේ හැටියට කන්න බොන්න යාන වාහන ගන්න, ගෙවල් දොරවල් හදන්න ව්‍යාපාර ආරම්භ කරන්න මඟක් පෑදුණු බව තේරුම්ගත් ජනතාව ජෙ. ආර්ට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන්නේ ය. එහෙත් විවෘත ආර්ථිකය යනු අවශ්‍ය සාපයක් බව ජනතාව දැන සිටියේ නැත. අද පවත්නා අපරාධ, මංකොල්ල, කුලියට මිණී මැරුම්, කුඩු ජාවාරම, අල්ලස, ගණිකා මඩම් යන මේ සියල්ලම විවෘත ආර්ථිකයේ අතුරු ප්‍රතිඵල බව තේරුම් ගෙන සිටියේ අතලොස්සක් පමණ පිරිසය.
රාජ යෝග සහිත පුද්ගලයෝ සමාජයේ වෙති. එසේ නම් ඒ අයට රජ පදවි නැත්තේ ඇයි දැයි ප්‍රශ්ණයක් මතුවේ. එයට පිළිතුරක් තිබේ. බලයට පත්වන්නට රාජයෝග පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා කාල දේශ, පාත්‍ර යන තුන් ශක්තියම අවශ්‍ය බව ඉසිවරු කීහ. එහෙත් ඒ තුන් ශක්තියම ඇතත් රාජ යෝග නැති අයත් වෙති.
කවරකු හෝ වුවද දේශපාලන ක්‍ෂේත්‍රයට පිවිසීමට නම් එම රාජ යෝග මුවහත් කර ගත යුතුයි. එයින් අදහස් කරන්නේ ඒ සඳහා සපුරාගත යුතු තවත් දැනුම් සම්භාරයකින් පෝෂිත විය යුතු බවය. එනම් දේශපාලන විද්‍යාව, ඒ රටේ ඉතිහාසය, භෂාව හා විෂයාන්තර දැනුම පත පොත ඇසුරෙන් ප්‍රගුණ කළ යුතු බවය. එසේ නොවුනොත් සමාජයේ පැවැත්ම ගැන පූර්ණ අවබොධයක් නැත. දේශපාලනඥයකු වශයෙන් තමාට වඩා දැනුමෙන් පිරිපුන් අය ඉදිරියේ ව්‍යාජ දේශන වලින් ඒ අය රැවටීම අපහසු ය.
සාමාන්‍ය ජනතාවට දේශපාලන උගතා හඳාුනා ගන්නට බැරිය. ඇඳුමට, වාහනයට, රැවටිලි කථාවට, මුදලට රැවටෙති. බත් මුලට, අරක්කු වීදුරුවටත් චන්දය දෙන පිරිසක් රටේ වෙති. අප බොහෝ දේ ගැන කථා කළත් රාජ යෝග යනු මොනවාදැයි සඳහන් කළේ නැත. පංච මහා යෝගයන් අතුරෙන් එකක් දෙකක් වූ පමණින් එය රාජ යෝග නොවේ. ඒ සඳහා යවනාචාර්ය මතය වඩාත් වැදගත්ය. මානසාගරී පද්ධති පොතේ රාජ යෝග ගණනාවක්ම දක්වා ඇත.
ලග්නය මීන වී ගුරු ලග්නයේම සිටියදී සඳු පස් වැන්නේ හෝ 10 වැන්නේ වෙතොත් එම ජන්මියා බලය හා ප්‍රභූත්වය සහිත කෙනෙකි.
ශනි, සිකුරු, බුධ ත්‍රිකෝණස්ථාන වල (5 – 9) හෝ ශනි බුධ යෝගය 3, 6, 10 යන ස්ථානයක දක්නට ලැබෙන විට පුර පස සඳු 5 භාවයේ නම් එම කේන්ද්‍ර හිමියාට රාජ්‍ය තන්ත්‍රයේ උරුම කම් වේ. රවි මේෂ රාශියේත් සඳු – සිකුරු දෙවැන්නේත්, ගුරු සිවුවැන්නේත්, බුධ දොළොස්වැන්නේත්, සිටියදී සෙනසුරු කන්‍යා – කුම්භ දෙරැසින් එකක වෙතොත් දේශ පාත්‍ර කාල තුන් සවිය සපුරා ඇත්නම් ඔහුට රාජකීය උරුමකම් වෙයි.
රවි තුන් වැන්නේත්, බුධ දේවැන්නේත්, සිකුරු හතරේත් සිටියදී කිසිදු ග්‍රහයෙක් නීචව නැත්නම්, එසේම කිසිඳු ග්‍රහයෙක් 12 වැන්නේ නොවේ නම් එම ජන්මියා කිසිවකුට දෙවැනි නොවන රාජ්‍ය නායකයකු බවට පැමිණේ.
මෙබඳු රාජ යෝග ගණනාවකි. එසේම කිසියම් පුද්ගලයකුගේ භාග්‍යය හෝ අභාග්‍ය ප්‍රකට වන්නා වූ කාල සීමාවන් පිළිබඳව යවනාචාර්ය තුමා විසින් නව වැන්න පදනම් කරගෙන පෙන්වා දී තිබේ. ඒ මෙසේ ය.
9 අධිපතියා රවි නම් ජීවිතයේ 22 වැනි වසරද, සඳු නම් 24 වැනි වසරද, කුජ නම් 28 වැනි වසරද, බුධ නම් 32 වැනි වසරද, (17 වැනි වසරත් යහපති) ගුරු නම් 16 වැනි වසරද, සිකුරු නම් 25 වැනි වසරද, ශනි නම් 36 වැනි වසර ද නියමිත වර්ෂයන් ලෙස සඳහන් කරයි.
ලග්නාධිපතියා කෙරෙන්ද මෙය වටහා ගත හැකිය. බලවත් සඳු ලග්නයේද නැතොත් 9 වැන්නේ ද එවිට ද ජන්මියා බලවත් වේ. කීර්තිමත් වේ. ලග්නාධිපතියාත් 9 වැන්න අධිපතියාත් ස්වක්‍ෂේත්‍රව සිටියේ නම් එම ග්‍රහයන් ට අනොන්‍ය දෘෂ්ටියද වේ නම් ජන්මියා තමා උපන් ප්‍රදේශයේම බලවත් වෙයි. නව වැන්නේ වෙනත් ග්‍රහයෙකු උච්චව සිටියත් එසේ ය.
පරාසර ඉසිවරයා විසින් රාජ යෝග ගැන මෙසේ සඳහන් කරයි. ජන්ම කේන්ද්‍රයේ 9 සහ 10 අධිපතීහු පාරිජාතාංශයෙහි සංයෝග වෙත්නම් ජන්මියා ප්‍රදේශයක්ම පාළනය කරන බලවතෙකි. එම ග්‍රහයන් උත්තමාංශ ගත නම් උසස් වාහන, රාජකීය මන්දිර, අලි ඇතුන් අශ්ව හා වෙනත් උදාර රාජකීය දේ පරිහරණය කරන නායකයෙකි. එකී නවය හා දහය අධිපතියන් ගෝපුරාංශකයෙහි වී නම් හෙතෙම බල පරාක්‍රමයෙන් සිංහයෙකු බඳු බොහෝ දෙනෙකුගෙන් නමස්කාර ලබන බලවතෙකි. මෙකී ග්‍රහයන් සිංහාසනාංශ ගත නම් ශ්‍රේෂ්ඨ අධිරාජයන් බඳුය. හරිස්චන්ද්‍ර, මනු, බලී, යුධිෂ්වර, ශාලිවාහන, සහ නාගර්ජුණ වැනි පුරාණ වීර කථාවන්හි සඳහන් වීර රජවරුන් නිදසුන් සේ දැක්විය හැකිය. ඊටත් වඩා ඉහළ තලයක වූ පර්වතාංශ හා දේවලෝකාංශ යන ඒවායෙහි යතොක්ත ග්‍රහ සංයෝග වැඩි පුරම යෙදෙනුයේ මිනිස් වෙසින් මනු ලොව පහළ වන දේව අවතාරයක් සම්බන්ධයෙනි. උතුම් වූ වරහ මිහිරයන් විසින් වෘහත් ජාතකයෙහි දක්වා ඇති රාජ යෝග ද අවධානය යොමු කරතොත් මෙසේ ය.
කුජ, ශනි, රවි හා ගුරු උච්ච නම් ද ඒ උච්ච රාශි අතුරින් එකක් ලග්නය වූයේ නම් ද එසේ උපන් තැනැත්තා රටක් පාලනය කරයි.
මෙබඳු රාජ යෝග ගණනාවක්ම වෙයි. රාජ්‍ය පාලකයන්ගේ ජන්ම කේන්ද්‍ර නිදසුන් වශයෙන් ඉදිරිපත් කරමින් ඒ සියල්ල මෙබඳු කෙටි ලිපියකින් විස්තර කිරීම අපහසු ය.

කිත්සිරි රතුවිතාන

Share with your friends :