27 C
Colombo
19/05/2024

ගංජා නිසා ඩයනා යළිත් හැප්පෙයි : මේ පාර ඇමති කෙනෙක් එක්ක

Share with your friends :

ජනපතිවරයා පාර්ලිමේන්තුවේ නව සැසිය විවෘත කළ ඉකුත් 7 දා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සහ ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරිය පටලැවිල්ලක් ඇති කරගත් ආකාරය පිළිබඳ වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් පවතිනවා.

ඔවුන් දෙපළ අතර මෙම පටලැවිල්ල ඇතිව තිබුණේ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රියතම මාතෘකාව වන ගංජා වැවීම නීති ගත කිරීම මුල්කොට ගෙනයි.

නව පාර්ලිමේන්තු සැසිය විවෘත කිරීමෙන් අනතුරුව ගංජා වැවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව මාධ්‍ය අමතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය අමතා ප්‍රකාශ කළා.

එහිදී මාධ්‍යවේදීන් පෙරළා රාජ්‍ය අමාත්‍යවරිය අමතා සඳහන් කළේ එවැනි අනුමැතියක් ලැබී නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශ කොට තිබෙන බවයි.

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය එය ප්‍රතික්ෂේප කරමින් ඊට ප්‍රතිචාර දක්වද්දී ඇයට පාර්ලිමේන්තු සෝපානයෙන් පහළට පැමිණෙමින් සිටින බන්දුල ගුණවර්ධන මහතාව දක්නට ලැබුණු අතර වහා ක්‍රියාත්මක වූ ඇය එම සෝපානයට ගොඩ වූයේ මාධ්‍යවේදීන් ඉදිරියේමයි.

එසේ ගොඩ වූ ඇය “මොනවද ඇමැතිතුමා මේ කියල තියෙන්නේ.මේක නොවැම්බර් මාසේ දාපු කැබිනට් පත්‍රිකාවක්.ඒකට අනුමැතිය ලැබී තිබෙනවා” යැයි අමාත්‍යවරයා අමතා ප්‍රකාශ කළ අතර ඉන් තිගැස්සුන ගුණවර්ධන මහතා තමා ගංජා සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකළ බව රාජ්‍ය අමාත්‍යවරිය අමතා ප්‍රකාශ කළා.

එම ප්‍රකාශය කරනවාත් සමගම සෝපානයේ දොර වැසුණු අතර ඉන්පසු සෝපානය තුළ සිදු වූ දේ පිළිබඳව කිසිදු තොරතුරක් මේ වන විටත් වාර්තා වී නැහැ.

පක්ෂ මාරු කරමින් ආණ්ඩුවට එක් වූ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය තමන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සමග මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය ඇතුළු ඇතැම් අය සමගත් බහින් බස්වීම් සහ ගැටුම් ඇති කරගත් අයෙක්.

Share with your friends :