27 C
Colombo
01/11/2024

දේශපාලනයෙන් බෙදුණු රට මා අධ්‍යාපනයෙන් එක්සේසත් කළා – ධම්මික පෙරේරා

Share with your friends :


• රුපියල් මිලියන 4000ක් වටිනා අධ්‍යාපනයක් ‍ලබාගත් සිසුහු සහතික ලබති

දේශපාලනයෙන් බෙදුණු රට අධ්‍යාපනය ඔස්සේ එකට එක්කිරීමට තමන්ට හැකියාව ලැබුණේ යැයි මාතර පැවැති ‘ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස්’ හී සහතිකපත් පිරිනැමීමේ උත්සවය අමතමින් ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා පවසා සිටියේය.
ආසියාවේ අංක එකේ අධ්‍යාපන නාලිකව බවට පත්වූ ‘ඩීපී එඩියුකේෂන්’ යටතේ ක්‍රියාත්මක සුවිශේෂී වැඩසටසහනක් වන ‘ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස්’ හී අධ්‍යාපනය හදාරන්නන් අතුරින් ඒ ඒ ව්‍යාපෘති අදියර සපුරාලීමට සමත්වූ සිසුන් වෙත සහතිකපත් පිරිනැමීම වෙනුවෙන්, ගිහි පැවැදි දෙපාර්ශ්වයේම දසදහස (10,000) ඉක්මවූ පිරිසකගේ සහභාගීත්වයෙන් මාතර මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේදී මෙම උත්සවය පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා “ඒ දවස්වල හාල් පොත දුන්නා. ඒකෙන් දුන්නේ හාල්. ඊට පසුව ජනසවිය දුන්නා. සමෘද්ධිය දුන්නා. අස්වැසුම දුන්නා. දැන් ආයෙත් හාල් දෙනවා. එදා හාල්පොත දෙනකොට ඒක ගන්න හිටියේ අපේ ජනගහනයෙන් සියයට විස්සයි. අද හාල් කිලෝ දහය දෙනකොට ඒක ගන්න අපේ ජනගහනයෙන් සියයට පනහක් ඉන්නවා. එතකොට මේ රටේ දුප්පත්කම කොයි අතටද ගිහින් තියෙන්නේ. හාල් කිලෝ දහයක් වෙනුවෙන් ආණ්ඩුවට වැඳගෙන ඉන්න වෙනවා. එහෙම පිරිසක් පාලනය කිරීම දේශපාලකයාට පහසුයි. ඒත් මේ ක්‍රමවේදයෙන් රටක් හැටියට අපට ගොඩ යන්න පුළුවන්ද? ඒකට ඇති එකම ක්‍රමවේදය තමයි අපි අධ්‍යාපනයෙන් සන්නද්ධ වීම. අපේ දරුවන් තීරණය කරන්න ඕනේ අපි ආණ්ඩුවෙන් හාල් කිලෝ දහයක් දෙනකම් බලා ඉන්නවද, නැතිනම් තව කෙනෙක්ට හාල් කිලෝ දහයක් අරන් දෙන්න පුළුවන් තැනට අපි එනවද කියන එක. එතැනට අපට යන්න පුළුවන් අධ්‍යාපනයෙන් පමණයි. දේශපාලනයෙන් බෙදුණු රට අද මම අධ්‍යාපනයෙන් එකතු කරලා තිබෙනවා. මේ සභාවේ වුණත් දේශපාලන වශයෙන් පාට දෙක තුනක අය ඉන්න පුළුවන්. රට හදනවාය කියලා ඔබ ඉදිරියට එන දේශපාලකයන්ගෙන් ඔබ අහන්න රට ගොඩගන්න කලින් ගම ගොඩගන්න විදිහ කියලා දෙන්න කියලා. මේ රටේ කථා කරන අය ගොඩයි. කථාව ක්‍රියාවට නංවන අය අඩුයි” යනුවෙන් පවසන ලදි.

“මේ රටේ ඕනෑම රජයේ විශ්වවිද්‍යාලයක් ගත්තොත් අවුරුද්දකට අයි.ටී විෂයෙන් උපරිම සිසුන් 200යි ගන්නේ. අවුරුදු තුනම ගත්තොත් සිසුන් 600කටයි අවස්ථාව තිබෙන්නේ. නමුත් මම ගමකට දෙන ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් එකක සිසුන් 1000කට ඉගෙනගන්න පුළුවන්. ඒ කියන්නේ මේ රටේ තියෙන ඕනෑම විශ්වවිද්‍යාලයකට වඩා ලොකු විශ්වවිද්‍යාලයක් තමයි මම මේ ගමකට දීලා තියෙන්නේ. අනෙක විශ්වවිද්‍යාලයට ගිහින් ඉගෙනගත්තොත් රැකියාවක් කරන තැනට එන්න අවුරුදු 3ක් ඉගෙනගන්න ඕනා. නමුත් අපි මෙතැන අවුරුද්දක කාලයකදී එයට අවශ්‍ය දැනුම ලබාදෙනවා. රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න පුළුවන් කෙටිම මාර්ගය වගේම සිසුන්ට ආතතියකින් තොරව ඉගෙන ගන්න අවස්ථාවත් අප සලස්වලා තිබෙනවා. ඒ වගේම මෙහිදී ශිෂ්‍යයෙක් සම්පූර්ණ කරන ව්‍යාපෘතිවලට සමගාමීව ඒ ශිෂ්‍යයාට තමන් ජීවත්වන පරිසරයේ තමා ඉදිරියට එන පැනයක් විසඳීමේ හැකියාවත් ඉහළ යන ආකාරයටයි අපි මේ වැඩසසටහන සකසා තිබෙන්නේ. ඒ බව මෙහි සිටින දරුවන්ගේ දෙමාපියන් අත්විඳලා ඇති” යනුවෙන් මෙම අධ්‍යාපන වැඩපිළිවෙලහි කාලෝචිත බව සහ වැදගත්කම පහදමින් ධම්මික පෙරේරා මහතා අවවධාරණය කර සිටියේය.
මෙම ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් පාඨමාලාව ව්‍යාපෘති 324කින් සමන්විත වන අතර සහමුළින්ම නොමිලයේ පිරිනමන එම පූර්ණ පාඨමාලාව යමෙක් පුද්ගලික මුදලින් සපුරාලීමට නම් රුපියල් ලක්ෂ 25ක් වැය කළ යුතුවේ. මාතර දිස්ත්‍රික්කයේ පිහිටි ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් 12 ක් ඇසුරින් එහි ඒ ඒ අදියර කඩඉම් සපුරාලූ සිසුන් 10000කට ආසන්න පිරිසක් මෙම වැඩසටහනේදී සහතිකපත් ලාභීන් බවට පත්ව සිටින එම සහතිකලාභීන්ගේ පාඨමාලා වටිනාකම් සමස්තයක් වශයෙන් රුපියල් මිලියන 4000ක් වන බව මෙහිදී ධම්මික පෙරේරා මහතා වෙතින් ප්‍රකාශ විය.

“යමෙක් මරණින් පසුව දිව්‍යලෝකයට හෝ අපායට යෑම සිදුවෙනවාය කියලා අපි කියනවා. නමුත් ප්‍රශ්නවලට විසඳුම් සොයාගැනීම තුළ අපට ජීවතුන් අතර සිටියදීම දිව්‍යලෝකයක් හදාගැනීම හෝ ප්‍රශ්නවලම සිටීම තුළ අපායත් මෙහිම නිර්මානය කරගන්න අපට පුළුවන්. නමුත් මේ ඩීපී එඩියුකේෂන් අයි.ටී කම්පස් අධ්‍යාපනය මගින් ගෙදරක් ඒ දිව්‍යලෝකය කරන්න පුළුවන් දරුවෙක් නිර්මානය වී සිටිනවාය කියන හැඟීමෙන් මෙහි සිටින තම දරුවන් ගැන අඩම්බර වෙන්න” යනුවෙන් ධම්මික පෙරේරා මහතා අද ‍එහි රැස්ව සිටි දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර සිටියේය.
එසේම බෝධිසත්වයකු ඇස්, ඉස්, මස ලේ දන්දී පාරමිතාවක් පුරන අයුරින් ගමේ පන්සලේ ස්වාමීන්වහන්සේ මුලු ජීවිතකාලයම ගම වෙනුවෙන් දන්දී ඇති බවත් එම පන්සල මැදිකරගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම හරහා යළිත් ඒ සංස්කෘතික ප්‍රබෝධය මෙරට ඇතිකළ හැකි බවටත් හෙතෙම මෙහෙදී සිය විශ්වාසය පළ කර සිටියේය.
ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් හරහා එම අධ්‍යාපානය සපුරාලූ සිසුන් 72 දෙනෙකු එහි වෘත්තියමය අදියර වන ඩීපී සිලිකන්වැලි අයි.ටී ඔෆිස් සඳහා සුදුසුකම් ලබගැනීමද මෙම වැඩසහටහනේදී ඇගයුමට ලක්විය.

Share with your friends :