27 C
Colombo
11/03/2026

වාරි ව්‍යාපෘති හතරකින් කෝටි 9,029ක් වතුරේ

Share with your friends :

ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය හා උමාඔය හැරවීමේ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති හතරක් සඳහා වාරිමාර්ග අමාත්‍යාංශය පසුගිය වසර 14 ක කාලයේදී රුපියල් කෝටි නව දහස් විසි නවයකට වැඩි මුදලක් වැය කර ඇතත් මේ මුදලින් ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙම ව්‍යාපෘති හතර සැලසුම් කළ කාලය මෙන් දෙගුණයකටත් වැඩි කාලයක් ගතවී තිබුණද නිම කර නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

මෙසේ නිම කර නැති අනෙක් ව්‍යාපෘති දෙක වන්නේ තල්පිටිගල ජලාශය( ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් කෝටි 15391කි) සහ ඵලදායීතා ප්‍රවර්ධන සහ වාරිමාර්ග පද්ධති කාර්යක්ෂමතා කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතියයි.

එසේම එම ව්‍යාපෘති අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේදී මූලික අරමුණු යටතේ හඳුනාගෙන තිබූ ආර්ථික වාසි සැලසුම්සහගත පරිදි ලබා ගැනීමට නොහැකිවී තිබුණු බවද එහි සඳහන් වෙයි.

මේ අතර ලෝක බැංකු ආධාර යටතේ වාරිමාර්ග අමාත්‍යාංශය 2014 සිට 2021 දක්වා ක්‍රියාත්මක කර තිබූ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය 2021 වර්ෂය තුළ අවසන් කර තිබූ නමුත් එකී ප්‍රතිපාදන යටතේ 2015, 2019 වර්ෂය තුළ ක්‍රියාත්මක කර තිබූ කොන්ත්‍රාත් පැකේජ 15 ක් සඳහා රුපියල් කෝටි නවයක් වැය කර තිබුණද වැඩ අවසන් කිරීමකින් තොරව අතරමග නවතා තිබූ බව විගණන අංශ පවසයි.

ඒ අනුව අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකිවී තිබුණු බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කළේය.

මේ තොරතුරු සඳහන් වන්නේ වාරිමාර්ග අමාත්‍යාංශයේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.

Share with your friends :